හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂට ලිපියක්

0
16

රක්ෂිත බන්ධනාගාරගතව පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙත ඔහුගේ පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විශේෂ ලිපියක් යොමු කර තිබේ.

මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ජනාධිපතිවරයාගේ ලේකම්වරයෙකු හරහා මෙම ලිපිය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා වෙත ලබා දී ඇති අතර, ඔහු මාර්ගයෙන් එය නාමල් රාජපක්ෂ මහතා වෙත භාර දී ඇති බව සඳහන් වේ.

හිටපු ජනාධිපතිවරයා විසින් යොමු කරන ලද ලිපිය පහතින්,

ආදරණීය නාමල් !

ඔබ දේශපාලනයට පිවිසීම අදහස් කළ වර්ෂ 2010 දී ඊට මගෙන් අවසර පැතුවා මතක ඇති. ඒ අවස්ථාවේ මම ඔබට දුන් අවවාදය ද මතක ඇතැයි සිතමි. කැමති නම් දේශපාලනයට එන්න. හැබැයි හිරේ යන්න වගේම දුක් විඳින්න බලාගෙන එන්න. ඒකට මට කමක් නෑ.

මම එලෙස කීවේ මා දේශපාලනයට පිවිසි ටික කලකින් එදා පැවති ආණ්ඩුව විසින් පදනම් විරහිත චෝදනාවක් දමා මා බන්ධනාගාරගත කළ නිසාය. ඒ වන විට ඔබ ඉපදී නැත. එදා මගේ එකම විශ්වාසය තිබුණේ අධිකරණය ගැන පමණයි. කවුරුන් කුමක් කිව්වද ඔබත් අධිකරණය ගැන පමණක් විශ්වාසය තබන්න.

දෛවෝපගත ලෙස අම්මාත් මමත් මේ දිනවල ඔබ ද උපන් නවලෝක රෝහලේ රෝහල්ගත වී සිටිමු. ඔබේ සහෝදරයන් වන යෝෂිත සහ රෝහිත අපේ සුවදුක් විමසා බලයි. යෝෂිතට එක් නඩුවක් වැටී ඇත්තේ ඔවුන් නාවික හමුදාවේ රැකියාවට යෑම නිසාය. එකල අපි රැකියා ලබා දුන් දහස් ගණන් තරුණයන් අතර මේ ආණ්ඩුවේ උදවියගේ තරුණ දරුවන්ද සිටි වග ඔබට ද මතක ඇතැයි සිතමි. එහෙත් ඔබලාට බලය ඇති කිසිම අවස්ථාවක ඒ අය පසුපස යන්න එපා.

මාගේ මතය දෙමව්පියන් කරන දේට දරුවන් පලි නැති බවයි. පලි නොගැනීම රාජපක්ෂවරුන්ගේ ක්‍රමයයි. සම්ප්‍රදායයි.

මේ රටේ දුක් විඳින ලක්ෂ සංඛ්‍යාත ජනතාවට රට නිදහස් කර දීමේ වරදට රාජපක්ෂවරුන් මේ සමාජය වැරදිකරුවන් කරන්නේ නැත. අප ඡන්දයෙන් පරාජය කරන ලද නමුත් රටේ ජනතාව කළගුණ සලකන සමාජයක් බව සිතා කටයුතු කරන්න.

ඔබට තෙරුවන් සරණයි!”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here