සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති, දමාම් මධ්‍යම බන්ධනාගාරයේ සිටින අනෝජන් සිවරාසා හමුවෙයි.

0
1

සෞදි අරාබි රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ඕ. එල්. අමීර් අජ්වඩ් (O. L. Ameer Ajwad) මහතා, දමාම් මධ්‍යම බන්ධනාගාරයේ (Dammam Central Prison) පසුවන අනෝජන් සිවරාසා (Anojan Sivarasa) මහතාගේ සුවදුක් විමසා බැලීම සඳහා 2026 ඔක්තෝබර් 8 වන දින එහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය. මෙම බන්ධනාගාරය රියාද් නගරයේ සිට කිලෝමීටර් 450 ක් පමණ දුරින් පිහිටා ඇත.

මෙම හමුවේදී තානාපතිවරයා අනෝජන් සිවරාසා මහතා සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර ඔහුගේ අවශ්‍යතාවලට සහ ගැටලුවලට සවන් දී තිබේ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි අවශ්‍ය සියලුම කොන්සියුලර් සහ නීතිමය සහායන් ලබා දීමට තානාපති කාර්යාලය බැඳී සිටින බව ඔහු මෙහිදී නැවත තහවුරු කළේය. තවද, සෘජුව සම්බන්ධ කර ගැනීමට හැකි වන පරිදි තානාපතිවරයා සිය සබඳතා තොරතුරු ද ඔහු වෙත ලබා දී ඇත.

හමුවෙන් අනතුරුව තානාපති අමීර් අජ්වඩ් මහතා සඳහන් කළේ අනෝජන් සිවරාසා මහතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, සෞදි බන්ධනාගාර බලධාරීන් ඔහුගේ සුභසාධනය පිළිබඳව නිසි අවධානයක් යොමු කර ඇති බවත්ය.

මීට අමතරව, තානාපතිවරයා දමාම් මධ්‍යම බන්ධනාගාරයේ අධ්‍යක්ෂවරයා සහ එහි වෛද්‍යවරයා හමුවී සාකච්ඡා කර ඇත. අනෝජන් මහතාගේ සෞඛ්‍යය සහ සුභසාධනය වෙනුවෙන් දැක්වූ සැලකිල්ල මෙන්ම මෙම හමුවීමට ලබා දුන් සහයෝගය වෙනුවෙන් තානාපතිවරයා එහිදී ඔවුන් වෙත සිය කෘතඥතාව පළ කළේය.

තවද, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැත්වෙන ඔහුගේ අභියාචනා ක්‍රියාවලිය (Appeal Process) සඳහා ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අවශ්‍ය සහාය ලබා දෙමින් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here