සම්බාධක සම්බන්ධයෙන් උද්ගත වූ මතභේදයක් මධ්‍යයේ, පියොන්යෑංග් හි ස්විට්සර්ලන්ත රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල ප්‍රධානියා පැය 48ක් ඇතුළත රටින් පිටවිය යුතු බවට උතුරු කොරියාව නියෝග කර තිබේ. එමෙන්ම එරට පිහිටි ස්විස් කාර්යාලය ද වසා දමන ලෙස දැනුම් දී ඇති අතර, අදාළ නියෝජිතයා ‘පිළිගත නොහැකි පුද්ගලයෙකු’ (persona non grata) ලෙස නම් කිරීමට උතුරු කොරියානු විදේශ අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව එරට රාජ්‍ය පුවත් සේවය වන KCNA වාර්තා කරයි.
නැගෙනහිර වොන්සාන් නගරයේ පිහිටි ‘Songdowon’ ජාත්‍යන්තර ළමා කඳවුරට එරෙහිව ස්විට්සර්ලන්තය සම්බාධක පැනවීම මෙම තත්ත්වයට ආසන්නතම හේතුව වී තිබේ. රුසියාව විසින් අත්පත් කරගෙන සිටින යුක්රේන ප්‍රදේශවලින් දරුවන් මාරු කිරීමේ ක්‍රියාවලියට මෙම කඳවුර සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති අතර, ස්විට්සර්ලන්තයේ මෙම සම්බාධක “පැහැදිලි විරෝධී ක්‍රියාවක්” ලෙස KCNA හඳුන්වා දී ඇත. ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍ය ඉග්නාසියෝ කැසිස් උතුරු කොරියාවේ සංචාරයක නිරත වෙමින් කොවිඩ් සමයේ වසා දැමූ එම කාර්යාලය යළි විවෘත කර සති කිහිපයකට පසුව මෙම නෙරපා හැරීම සිදුවීම විශේෂත්වයකි.
කෙසේ වෙතත්, තම සම්බාධක ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සංවාදය පවත්වාගෙන යාම අතර පැහැදිලි වෙනසක් පවතින බව ස්විට්සර්ලන්ත විදේශ කටයුතු දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. පියොන්යෑංග් කාර්යාලය විවෘත කිරීමෙන් උතුරු කොරියාවට එරෙහි එක්සත් ජාතීන්ගේ හෝ යුරෝපා සංගම් සම්බාධක ක්‍රියාත්මක කිරීමේ වගකීමට කිසිදු බලපෑමක් නොවූ බව ඔවුහු පවසති. ඉදිරියේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බර්න් නුවර උතුරු කොරියානු තානාපති කාර්යාලය සහ බීජිං නුවර ස්විස් තානාපති කාර්යාලය හරහා පවත්වාගෙන යන බව ස්විට්සර්ලන්ත බලධාරීහු වැඩිදුරටත් සඳහන් කළහ.

