ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම S&P ආයතනය විසින් ‘B−’ දක්වා ඉහළ නංවයි – මුදල් අමාත්‍යාංශයෙන් පැසසුම්

0
8

ශ්‍රී ලංකාවේ දිගුකාලීන ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම (Long-term Sovereign Credit Rating) ‘CCC+’ මට්ටමේ සිට ‘B−’ දක්වා ඉහළ නැංවීමට සහ එහි ඉදිරි දැක්ම ‘ස්ථාවර’ (Stable) මට්ටමේ පවත්වා ගැනීමට S&P Global Ratings ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය ගත් තීරණය ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශය විසින් සාදරයෙන් පිළිගෙන තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, ශ්‍රී ලංකාව සතු ණය වගකීම් පියවීමේ හැකියාව වර්ධනය වීම සහ අහිතකර බාහිර මූල්‍ය තත්ත්වයන් හමුවේ පවතින අවදානම අඩුවීම මෙම ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීම තුළින් පිළිබිඹු වන බවයි.

රාජ්‍ය ආදායමේ ශක්තිමත් වර්ධනය, විදේශ විනිමය සංචිත අඛණ්ඩව ඉහළ යාම සහ ආර්ථික ක්‍රියාකාරකම්වල පවතින ඔරොත්තු දීමේ හැකියාව මෙම ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීමට හේතු වූ බව S&P ආයතනය පෙන්වා දී ඇතැයි අමාත්‍යාංශය සඳහන් කරයි.

පසුගිය 2026 සැප්තැම්බර් මාසයේදී Fitch Ratings ආයතනය විසින් ද මෙවැනිම ආකාරයකින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ඉහළ නැංවීමට පියවර ගත් බව මුදල් අමාත්‍යාංශය මෙහිදී වැඩිදුරටත් සිහිපත් කළේය.

ආර්ථික ප්‍රකෘතිය තිරසාරව පවත්වා ගැනීමටත්, ශ්‍රී ලංකාවේ ණය විශ්වසනීයත්වය තවදුරටත් ඉහළ නැංවීමටත් මූල්‍ය විනය පවත්වා ගැනීම, විදේශ විනිමය සංචිත ශක්තිමත් කිරීම සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම සඳහා රජය සතු කැපවීම මුදල් අමාත්‍යාංශය යළිත් අවධාරණය කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here