ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 72කින් පරාජයට පත් කරමින් මෙවර කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද (13) සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 183ක ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තේය. එහිදී ශෆාලි වර්මා ලකුණු 68ක් සහ ස්ම්රිති මන්දනා ලකුණු 59ක් රැස් කරමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළහ. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු, මිතලි අයෝධ්‍යා සහ චමුදි ප්‍රබෝධා එක් කඩුල්ල බැගින් දවාගත්හ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා ලකුණු 184ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 111ක් පමණි. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායිකා චමරි අතපත්තු ලකුණු 36ක් ලබාගත් අතර, පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී චරනි කඩුලු 4ක් බිඳහෙළමින් ඉන්දීය ජයග්‍රහණය තහවුරු කළාය.

