ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මූල්‍ය අර්බුදය සහ නව ගුවන් යානා මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී සාකච්ඡාවට

0
10

ශ්‍රී ලංකන් ගුවන් සේවය මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය, අධික ගුවන් ගමන් ප්‍රමාදයන්, ණය බර සහ නව ගුවන් යානා ලබා ගැනීමේදී මතුව ඇති ප්‍රසම්පාදන ප්‍රමාදයන් පිළිබඳව පසුගියදා පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් රැස්වූ යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී මේ පිළිබඳව විශේෂ අවධානය යොමු විය. දැනට පවතින ගුවන් යානා 23කින් සමන්විත සංචිතය ප්‍රමාණවත් නොවීම සහ එම යානා වසර 12ක් පමණ පැරණි වීම හේතුවෙන් නිතර තාක්ෂණික දෝෂ හා ප්‍රමාදයන් ඇතිවන බවත්, විකල්ප යානා නොමැතිකම නිසා එය සමස්ත ගුවන් ගමන් ජාලයටම බලපාන බවත් මෙහිදී අනාවරණය විය.

පසුගිය කාලයේ නව ගුවන් යානා ලබා ගැනීමට ක්‍රියාත්මක කළ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලීන් අසාර්ථක වීම හේතුවෙන්, ඊට විසඳුමක් ලෙස විශේෂ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ගැසට් කිරීමට කටයුතු යොදා ඇති අතර අමාත්‍යාංශ මට්ටමින් විශේෂ ප්‍රසම්පාදන අංශයක් ද පිහිටුවා තිබේ. ඒ යටතේ ඉදිරි ජූනි මාසය වන විට නව නැරෝ-බොඩි ගුවන් යානයක් සහ වයිට්-බොඩි ගුවන් යානා දෙකක් සංචිතයට එක්කර ගැනීමටත්, 2029 වන විට සමස්ත ගුවන් යානා සංචිතය අවම වශයෙන් 29ක් දක්වා ඉහළ නැංවීමටත් පස් අවුරුදු සැලැස්මක් ඔස්සේ අපේක්ෂා කෙරේ.

මේ අතර ගුවන් සේවයේ මූල්‍ය තත්ත්වය යහපත් කිරීම සඳහා මහා භාණ්ඩාගාරය මඟින් පැරණි බැංකු හා බැඳුම්කර ණය පවරා ගැනීම, ලීසිං ගාස්තු අඩු කර ගැනීම සහ ඉන්ධන පිරිවැය පාලනය කිරීම ඇතුළු පියවර රැසක් ගෙන ඇත. මැදපෙරදිග කලාපයේ අර්බුදකාරී තත්ත්වය, ඉන්ධන මිල ඉහළ යාම සහ ජාත්‍යන්තර ගුවන් සේවා සමඟ පවතින තරගකාරීත්වය ද ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ ආදායම් කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කර තිබේ.

තවද, ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නව ආයෝජකයන් ලබා ගැනීම, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වයක් ඇති කිරීම හෝ රජය යටතේම පවත්වාගෙන යමින් පිරිවැය පියවාගත හැකි මට්ටමකට ගෙන ඒම පිළිබඳව රජය පත් කළ කමිටුව මඟින් සලකා බලමින් පවතී. ඒ අනුව, ඉදිරි වසර දෙක හෝ තුන ඇතුළත ශ්‍රී ලංකන් ගුවන් සේවය පිරිවැය පියවාගත හැකි මට්ටමකට ගෙන ඒමට ගත යුතු පියවර ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් නොවැම්බර් 30 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට සහ අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙස කාරක සභාව විසින් බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here