රටට දැන් අවශ්‍ය පොලිස් නිලධාරියා

0
9
මහීල් ඩෝල් – (ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී – විශ්‍රාමික)

පසුගිය සතියේ යෙදී තිබුණු 160 වැනි පොලිස් දිනයට හිමි ගෞරවය එයට ලැබිය යුතුය. නමුත්, ඊට දින දෙකකට පසු ලියැවුණු වඩාත් වැදගත් වාක්‍යය එම උත්සවශ්‍රීය තුළ යටපත් වීමට ඉඩ නොදිය යුතුය. දෙහිවල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා (OIC), අධික වැඩබර සහ පීඩනය තවදුරටත් දරාගත නොහැකි බව පවසමින් තොරතුරු පොතේ සටහනක් යොදා, තම තනතුරෙන් ඉවත්ව ගෙදර ගියේය. ඊට පසුව විමර්ශනයක් ආරම්භ විය.

එම සටහන වැදගත් වන්නේ එක් පොලිස් පරීක්ෂකවරයෙකුගේ ඉවසීම නැති වූ නිසාම නොවේ. වසර ගණනාවක් තිස්සේ මෙම සේවය විසින් මඟහරිමින් සිටි ප්‍රශ්නයක් එය නැවත මතක් කරදෙන බැවිනි: එනම්, වර්තමානයට ගැලපෙන, මහජනතාවට හිතකාමී හොඳ පොලිස් නිලධාරියෙකුට තිබිය යුතු මානසිකත්වය කුමක්ද? එමෙන්ම එම මානසිකත්වය වෙනත් රටවලින් ආනයනය කරන ලද ආභරණයක් ලෙස නොව, අපේම සමාජය තුළින් මෙරටට ගැලපෙන ලෙස වගා කරගන්නේ කෙසේද?

මම මේ ගැන ලියන්නේ තෙවැනි පරම්පරාවේ පොලිස් නිලධාරියෙකු ලෙසය. උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සිට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු දක්වා වසර හතළිහකට වැඩි කාලයක් සේවය කළ, ත්‍රස්තවාදය මර්ධනය කිරීමේ අංශය මෙහෙයවූ බුද්ධි නිලධාරියෙකු ලෙසය, එමෙන්ම දෙමව්පියෙකු සහ රටේ පවුරග්‍රහයෙකු ලෙසය.

නිල ඇඳුම යනු හඳුනාගැනීමක් පමණි. ඒ තුළ සිටින්නේ මනුෂ්‍යයෙකි. මේ රැකියාවෙන් එල්ල වන පීඩනය දරාගැනීමට සමහරුන්ට හැකියාව ඇත. තවත් සමහරුන්ට එය නොහැකිය. විනය සංග්‍රහයකට අණපනත් මඟින් අවනත කරගත හැකිය. නමුත් එයින් හොඳ චරිතයක් නිර්මාණය කළ නොහැක.

අපේම ප්‍රශ්න, අපේම විසඳුම්

ශ්‍රී ලංකාවේ පොලිස් සේවයේ පවතින අර්බුදය විදේශීය ආකෘතිවල අඩුවක් නොවේ. කොස්තාපල්වරයා බිහිවන පරිසරයේ යථාර්ථය පිළිබඳව ඇති අවංකභාවයේ අඩුවයි. අපේම ප්‍රශ්නවලට අවශ්‍ය වන්නේ අපේම විසඳුම්ය. විදේශීය සංකල්ප, අලුත් ඇප් එකක්, අලුත් නිල ඇඳුමක් හෝ වෙනත් රටකින් ලබාගත් ප්‍රතිපත්තියක්, යටින් පවතින සැබෑ ප්‍රශ්න නොවිසඳා උඩින් පටවන විට අසාර්ථක වේ.

පොලිස් ස්ථානයක් මෙහෙයවූ ඕනෑම අයෙකුට ඒ පරිසරය හුරුපුරුදුය. ඉහළින් පහළට ගලා එන, නමුත් පහළ නිලධාරියා ගැන සලකා බැලීමක් නැති ධුරාවලියේ පීඩනය, වෘත්තීය තීරණ දේශපාලන ලෙස වෙනස් කරන අතපෙවීම්, රාජකාරි දිවුරුම සහ එකට ජීවත්වන අභ්‍යන්තර දිළිඳුකම, ප්‍රමුඛතාව ලැබිය යුතු ගොනුව කුමක්දැයි තරුණ නිලධාරියාට කියාදෙන අසාධාරණය සහ පක්ෂපාතීත්වය, විවිධත්වයෙන් යුතු රටක සංස්කෘතික හා ආගමික පීඩනයන් වටහා ගන්නවා වෙනුවට ඒවා අනිසි ලෙස භාවිත කිරීම, සීමිත උසස්වීම් සඳහා වන තරඟය, එකම අවස්ථාවේ අඩු පහසුකම්, අඩු ඇගයීම් සහ ඉහළ බලාපොරොත්තු පැවතීම, පෙළපාලි භූමියේ පෙනෙන තරම් අභ්‍යන්තර එකමුතුකමක් නොමැති වීම.

අද වන විට පොලිස් සේවය ජාතික ආරක්ෂාවේ ප්‍රධාන පදනමකි. පාරේ මංසන්ධියේ සිට, පොලිස් ස්ථානය, කොට්ඨාසය සහ බුද්ධි අංශය දක්වා සෑම මට්ටමකම නිලධාරීන් එම සේවය සපයයි. නමුත් ඒ වෙනුවෙන් ලැබෙන ඇගයීම ප්‍රමාණවත් නැත. එහි ප්‍රතිඵලය කලකිරීමයි. තමන් කුමක් කළ යුතුදැයි නොදන්නා නිසා බොහෝ දෙනෙක් නිහඬව සිටිති. ඇතැමෙක් ඊට ප්‍රතිචාර දක්වති. සමහර ප්‍රතිචාර සාමාන්‍ය වුවත්, තවත් සමහර ප්‍රතිචාර සුදුසු නැති අතර ඒවා ගැටුම්වලින් කෙළවර වේ. සමාජ මාධ්‍ය මඟින් දීර්ඝ සේවා මුරයක සිදුවන එක නරක මිනිත්තුවක් පමණක් ඉස්මතු කර දැවැන්ත ලෙස පෙන්වයි. එයින් අවංකව සේවය කරන බහුතරයකගේ මානසික මට්ටම කඩා වැටෙන අතර මහජන විශ්වාසයට ද හානි සිදු වේ.

අපගේ කතා පැවැත්වීම් අවසන් වනතුරු අපරාධකාරයන් බලා සිටින්නේ නැත. මත්ද්‍රව්‍ය අද සාමාන්‍ය ජීවිතයේ කොටසක් බවට පත්ව ඇත. සමහර අවස්ථාවල පාරේ සිටින නිලධාරියාට වඩා අපරාධකරුවන් තාක්ෂණයෙන් හා උපක්‍රමවලින් ඉදිරියෙන් සිටිති. වෙනසක් යනු හුදෙක් චක්‍රලේඛයක් නිකුත් කිරීම නොවේ. නිල ඇඳුම අඳින පුද්ගලයාගේ සහ ඔහුව නිර්මාණය කරන ප්‍රධාන පාර්ශ්ව තුනේ එනම් දේශපාලන අධිකාරිය, පොලිස් අධිකාරිය සහ මහජනතාව යන අංශවල සිදුවිය යුතු වෙනසකි.

ප්‍රමාද වී හෝ, පොලිස් දින සංවත්සරයේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළ කරුණු, එනම් අල්ලස් ගන්නා නිලධාරීන් සේවයෙන් ඉවත් විය යුතු බව, රාජකාරි වේලාවන් දීර්ඝ වැඩි බව, නව බඳවාගැනීම්, නිවාස සහ නිසි උසස්වීම් ක්‍රමවේදයක් සකස් විය යුතු බව යන කරුණු හොඳ ආරම්භයක් ලෙස සැලකිය හැකිය. ආරම්භක පියවරක් යනු ගමනාන්තය නොවේ. එයින් ඵලක් වන්නේ ඊළඟ පියවර ශක්තිමත් පදනමක් මත තැබුවහොත් පමණි.

දේශපාලන අධිකාරිය වෙත

රාජ්‍යයේ සෑම බරක්ම පොලිස් නිලධාරියා මත පටවා, පසුව ඔහු පීඩනයට පත්වන්නේ මන්දැයි ප්‍රශ්න නොකරන්න. රථවාහන පාලනය, මත්ද්‍රව්‍ය, පාසල් අසල ආරක්ෂාව, උත්සව, දේශපාලනඥයන්ගේ ආරක්ෂාව, ආපදා සහන සහ අනෙකුත් ආයතනවල අසාර්ථකත්වයන්හි ඉතිරිය එක නිලධාරියෙකුගේ කරපිට පැටවිය නොහැක. ජාතික ආරක්ෂාව ප්‍රමුඛතාව නම්, ඊට අදාළ ප්‍රතිපාදන, නිලධාරීන් ප්‍රමාණය සහ දේශපාලන මැදිහත්වීම්වලින් තොර ආරක්ෂාවද ලැබිය යුතුය.

පක්ෂපාතීත්වය සහ දේශපාලන දුරකථන ඇමතුම් යනු සරල පුරුද්දක් නොවේ. එය නිලධාරීන් තුළ කලකිරීම ඇති කරවන ප්‍රධාන හේතුවකි. දුප්පත් මිනිසාගේ ගොනුවට වඩා හඳුනන මිනිසාගේ ගොනුව වේගයෙන් ඉදිරියට යන බව වටහා ගන්නා නිලධාරියෙකු, වැඩමුළුවලට සහභාගී වූ පමණින් මහජන හිතකාමී වන්නේ නැත. මාරුවීම් සහ උසස්වීම් දේශපාලන වාසි සඳහා භාවිත කිරීම නතර කරන්න. ස්ථාන මාරුවීම්වලදී නිලධාරීන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි අවධානය යොමු කරන්න. අවදානම් දීමනා යෝජනාවලට පමණක් සීමා නොකර පාරේ සිටින කොස්තාපල්වරයා දක්වා ලබා දෙන්න.

අවංක නිලධාරියා අසරණ තත්ත්වයේ තබමින් ඔබට ඔහුගෙන් අවංකභාවය බලාපොරොත්තු විය නොහැක. පොලිස් නිලධාරීන් හුදෙක් ශ්‍රමිකයන් ලෙස භාවිත කරමින් මහජන හිතකාමී සේවයක් ලබාගත නොහැක. සමූහ වගකීම ආරම්භ විය යුත්තේ පොලිස් බැරැක්කයෙන් පමණක් නොව කැබිනට් මණ්ඩලයෙන්ද වේ. දේශපාලන අධිකාරියට වෙනස් ආකාරයක පොලිස් නිලධාරියෙකු අවශ්‍ය නම්, වත්මන් ක්‍රමය නිර්මාණය කිරීම නතර කළ යුතුය.

පොලිස් අධිකාරිය (ජ්‍යෙෂ්ඨ නිලධාරීන්) වෙත

සාමූහික වගකීම සහ කණ්ඩායම් හැඟීම යනු නාමපුවරුවලට පමණක් සීමා වූ පාඨ නොවේ. හිඟ නිලධාරීන් සංඛ්‍යාවක් සිටින සේවයක් අභ්‍යන්තරව කඩා නොවැටී පවත්වාගෙන යාමට ඇති එකම මඟ එයයි. ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නිලධාරීන් අතර විශ්වාසය ගොඩනැගෙන්නේ හෝ නැතිවී යන්නේ වරදක් සිදුවූ අවස්ථාවකදී ක්‍රියාකරන ආකාරය අනුවය.

වැරදි වර්ග දෙකක් තිබේ. මනුෂ්‍ය අතපසුවීම් එකකි. සේවා පැහැර හැරීම තවත් එකකි. මේ දෙකම එකම වරදක් ලෙස සලකන පාලනයක් මඟින් අවංක නිලධාරියා නිහඬ කරවන අතර, නොමනා නිලධාරියාට වාසි ගැනීමට ඉඩ සලසයි. මේ දෙකම අමතක කරන පාලනයකට මහජන විශ්වාසය අහිමි වේ. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වගකීම වන්නේ නිවැරදිව තීරණය කිරීමයි: පීඩනයට පත් වූවන්ට පළමුව සුභසාධනය ස සැලසීම; රාජකාරිය පැහැර හැර ඇත්නම් නාට්‍ය රංගනයන්ගෙන් තොරව විනය පියවර ගැනීම; සේවය පාවා දුන් නිලධාරියා ආරක්ෂා නොකිරීම.

දෙහිවල සිදුවීමට අදාළ විමර්ශනයද මෙම පදනම මත සිදුවිය යුතුය. රාජකාරිය අතහැර යාම වරදකි. OIC වරයෙකු සතුව යතුරු, ගොනු, නඩු භාණ්ඩ සහ මෙහෙයවීම පවතියි. ආදර්ශය වැදගත්ය. එමෙන්ම එම සටහන තැබීමට හේතු වූ සේවා කාලසටහනද වැදගත්ය. මෙයින් මතුවන එකම ප්‍රතිචාරය අනෙක් අයත් මෙසේ කරයිද යන බිය පමණක් නම්, “ප්‍රශ්නය තියෙන්නේ උඹලාගේ කටේ මිසක් සේවා කාලයේ නෙවෙයි” යන්න කනිෂ්ඨයන්ට ලැබෙන පණිවිඩයයි.

පුහුණු කිරීම් වර්තමාන යථාර්ථයට ගැලපෙන ලෙස වෙනස් විය යුතුය. නීතිය, ආචාර විධි සහ ආයුධ පුහුණුව තවදුරටත් අවශ්‍ය වේ. නමුත් ඒවායින් පමණක් මහජන හිතකාමී නිලධාරියෙකු බිහි නොවේ. නිලධාරියා ගොඩනැඟිය යුත්තේ මහජනයා සමඟ කෝපයෙන් තොරව කතා කළ හැකි, දේශපාලනඥයන් හමුවේ බිය නොවී සිටිය හැකි, සහ ප්‍රශ්නයක් නඩුවක් වීමට පෙර හඳුනාගත හැකි මනුෂ්‍යයෙකු ලෙසය.

පොලිස් මූලස්ථානය පර්යේෂණ මඟින් සැබෑ සේවා කාලය, විශ්‍රාම යාමට හෝ විදේශගත වීමට ඉල්ලුම් කරන සංඛ්‍යාව, නිසි උපදේශනය ලබන සංඛ්‍යාව, සහ පවුලට සුදුසු නිවාස පහසුකම් ඇති සංඛ්‍යාව සොයා බැලිය යුතුය. පීඩනය (Burnout) හඳුනා ගැනීමට විදේශීය උපදේශකයන් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ එය විවෘතව පැවසීමට ඇති ඉඩකඩයි.

රාජ්‍යයට, සේවයට සහ ජ්‍යෙෂ්ඨ නිලධාරියාට ඇති ගෞරවය සහ පක්ෂපාතීත්වය (Loyalty) තවමත් වැදගත්ය. නමුත් එය එක පැත්තකට පමණක් සිදුවන්නක් නොවේ. නිලධාරීන්ගේ කාලය ස සෞඛ්‍යය අනවශ්‍ය ලෙස වැය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට, පහළ නිලධාරීන්ගේ පක්ෂපාතීත්වය අඩුවීම ගැන පුදුම විය නොහැක.

මහජනතාව වෙත

පොලිස් නිලධාරියා යනු පිටස්තර ලෝකයකින් පාරට ආ අයෙකු නොවේ. ඔහුද හොඳ සහ නරක මිනිසුන් බිහි කරන අපේම සමාජයේ නිෂ්පාදනයකි. අවංකකම හෝ අකර්මන්‍යතාව නිල ඇඳුම සමඟ ලැබෙන දෙයක් නොවේ. ඒවා ඔහු පැමිණි නිවසින්, පාසලෙන් සහ සමාජයෙන් ගෙනෙන දේවල්ය. අපට වෙනස් ආකාරයක නිලධාරියෙකු අවශ්‍ය නම්, නිල ඇඳුමට පමණක් බැන වැදීමෙන් ඵලක් නැත. අප සමාජයක් ලෙස පොලිසියට ලබා දී ඇත්තේ කුමක්දැයි ආපසු නැරඹිය යුතුය.

මහජනතාවට කෝප වීමට හේතු තිබේ. නමුත් එම හේතු නිසා නිලධාරියෙකුගේ මහන්සිය හෝ පීඩනය සමාජ මාධ්‍ය හමුවේ විහිළුවක් බවට පත් කිරීම සාධාරණ නැත. සමාජ මාධ්‍ය මඟින් පැය 16ක සේවා මුරයක සිදුවන එක නරක විනාඩියක් ඉස්මතු කර පෙන්වන අතර, එමඟින් අවංකව කැපවෙන නිලධාරියාගේ මානසිකත්වය බිඳ වැටේ. එයින් ඊළඟට පැමිණෙන තරුණයාටද සේවය පිළිබඳ වැරදි පණිවිඩයක් ලැබේ. මහජන හිතකාමී සේවයකට, මනුෂ්‍ය අතපසුවීමක් සහ වරදක් අතර වෙනස හඳුනාගත හැකි ජනතාවක් අවශ්‍ය වේ.

විශ්වාසය යනු දෙපැත්තෙන්ම ගොඩනැඟිය යුත්තකි. නිලධාරියා සාධාරණ වන තැන සහාය දෙන්න. නොවන තැන වගවීම ඉල්ලා සිටින්න. රාජ්‍යය විසින් අතහැර දමා ඇති නිලධාරීන්ගෙන් පරිපූර්ණ සේවයක් බලාපොරොත්තු නොවන්න.

කළ හැකි වෙනස

වර්තමාන පොලිස් නිලධාරියා ඉදිරි අභියෝගවලට සූදානම් කරන්නේ කෙසේද? විදේශීය සංකල්ප මඟින් නොවේ. අපේම වූ පැහැදිලි සැලැස්මකිනි.

ක්ෂණිකව කළ යුතු වැඩ සරල විය හැක. රථවාහන අංශවල සේවා කාලය සීමා කරන්න. නිවාඩු ලබාදීම වරප්‍රසාදයක් ලෙස නොසලකන්න. සෑම කොට්ඨාසයකටම උපදේශන පහසුකම් ලබා දෙන්න. පීඩනයට පත්වන නිලධාරියාට පළමුව සුභසාධනය සලසා, අවශ්‍ය නම් පමණක් විනය පියවර ගන්න.

කෙටිකාලීන පියවර කාලරාමුවකට අනුව සිදුවිය යුතුය: පුහුණුකරුවන්ට පීඩනයක් නොවන සේ පියවරෙන් පියවර බඳවාගැනීම් සිදුකිරීම; දීමනා සහ නිවාස පහසුකම් නිසි ලෙස ලබාදීම; පවුල් සංකල්පයට මුල්තැන දෙමින් ස්ථාන මාරුවීම් සිදුකිරීම; උසාවි රාජකාරි බෙදාහැරීම මඟින් එකම නිලධාරීන් පිරිසක් පමණක් අධිකරණවල කාලය ගතකිරීම නතර කිරීම.

දිගුකාලීන කාර්යය වන්නේ මානසිකත්වයේ වෙනසයි. දේශපාලන අධිකාරිය පොලිසිය අනිසි ලෙස භාවිත කිරීම නතර කළ යුතුය. පොලිස් අධිකාරිය සාමූහික වගකීම පුහුණු කළ යුතු අතර මනුෂ්‍ය අතපසුවීම් සහ සේවා පැහැරහැරීම් අතර වෙනස හඳුනාගත යුතුය. මහජනතාව පාරේ සිටින නිලධාරියා සමඟ පවතින සබඳතාව යථාර්ථවාදී කරගත යුතුය. මේ පාර්ශ්ව තුනෙන් එකකටවත් තනිව පොලිසිය වෙනස් කළ නොහැක. නමුත් එක් පාර්ශ්වයකට අනෙක් දෙපාර්ශ්වයේ උත්සාහය අසාර්ථක කිරීමට හැකියාව ඇත.

මම මේ සේවය නිවසින්, පොලිස් ස්ථානයෙන්, බුද්ධි අංශයෙන් සහ මහජනතාවගේ පැත්තෙන් දැක ඇත්තෙමි. ජාතික ආරක්ෂාව ආරම්භ වන්නේ සාකච්ඡා කාමරවලින් නොවේ. එය ආරම්භ වන්නේ ඉවසීමෙන් යුතුව රාජකාරිය කරන කොස්තාපල්වරයාගෙන් සහ විශ්වාසයෙන් යුතුව කරුණු පවසන මහජනතාවගෙනි. දෙහිවල OIC වරයා ප්‍රශ්නයක් අලුතින් නිර්මාණය කළේ නැත. ඔහු කළේ පවතින පීඩනය ලියා තැබීම පමණි. දේශපාලන අධිකාරිය, පොලිස් අධිකාරිය සහ මහජනතාව එක්ව ඉදිරි පියවර තැබීමට තීරණය කරන්නේ නම්, ජනාධිපතිවරයාගේ ප්‍රකාශය හොඳ ආරම්භයක් කරගත හැක.

(ජාතික ආරක්ෂාව, ආයතනික ප්‍රතිසංස්කරණ සහ මහජන ආරක්ෂාව උදෙසා මෙම විශ්ලේෂණය ඉදිරිපත් කෙරේ)

මහීල් ඩෝල් (ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී – විශ්‍රාමික)

රාජ්‍ය බුද්ධි සේවයේ ත්‍රස්තවාදය මර්ධනය කිරීමේ අංශයේ හිටපු ප්‍රධානී සහ පොලිස් විශේෂ කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂ. ඔහු තෙවැනි පරම්පරාවේ පොලිස් නිලධාරියෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here