මහජන ප්‍රවාහන සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් කොළඹට  නව ‘මෙට්‍රෝ’ බස් රථ 112ක් එක්වෙයි.

0
11

කොළඹ නගරයේ මහජන ප්‍රවාහන සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින්, බස්නාහිර පළාතේ මාර්ග 7ක් ආවරණය වන පරිදි නව ‘මෙට්‍රෝ’ බස් රථ 112ක් ධාවනයට එක්කිරීම අද (29) සිදු කෙරිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් තලංගම මෙට්‍රෝ බස් ඩිපෝ පරිශ්‍රයේදී මෙම බස් රථ ජනතා අයිතියට පැවරිණි. මෙම වැඩසටහනේ මීළඟ අදියර පිළිබඳව අදහස් දක්වමින් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ ලබන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට පෙර තවත් බස් රථ 50ක් ආනයනය කිරීමට රජය බලාපොරොත්තු වන බවයි. එම බස් රථ යාපනය, මහනුවර සහ ගාල්ල යන නගර යා කෙරෙන අන්තර්නගර සේවා සඳහා යෙදවීමට නියමිතය.

ප්‍රවාහන පද්ධතිය නවීකරණය කිරීම සඳහා රුපියල් බිලියන 3ක පිරිවැයකින් මගී පහසුකම් සහිත බස් රථ 100ක් මිලදී ගැනීමට 2025 අයවැය මගින් යෝජනා වූ අතර, මෙම මෙට්‍රෝ බස් සේවාව ස්ථාපිත කිරීම සඳහා රජය සමස්තයක් ලෙස රුපියල් බිලියන 7.5කට ආසන්න මුදලක් ආයෝජනය කර ඇත. අද දින ධාවනයට එක්කළ බස් රථ 112න් බස් රථ 104ක් ශ්‍රී ලංකා රජය විසින් ලබාගෙන ඇති අතර, බස් රථ 8ක් ජපාන රජය මගින් පරිත්‍යාග කර තිබේ. මීට අමතරව, ජනාධිපතිවරයාගේ චීන සංචාරයේදී සිදුවූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ‘ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට්’ (Lanka Metro Transit) ආයතනය වෙත තවත් බස් රථ 100ක් ලබාදීමට චීන රජය එකඟතාව පළකර ඇත.

මෙම මෙට්‍රෝ බස් සේවාවේ ආරම්භක ජාලය කිලෝමීටර් 188.7ක දුරක් ආවරණය කරමින් ප්‍රධාන මාර්ග 7ක් ඔස්සේ ක්‍රියාත්මක වේ. විශේෂයෙන්ම එක් අයෙකු පමණක් ගමන් ගන්නා පෞද්ගලික වාහන කොළඹ නගරයට ඇතුළු වීම අවම කිරීම මෙහි ප්‍රධාන අරමුණකි. මේ සඳහා මෝටර් රථ හිමියන්ට තම පෞද්ගලික වාහන ගාල් කර මෙට්‍රෝ බස් රථවලින් නගරයට පැමිණීමට හැකි වන පරිදි ‘පාර්ක් ඇන්ඩ් රයිඩ්’ (Park & Ride) ක්‍රමය ප්‍රවර්ධනය කිරීමට සුදුසු රථගාල පහසුකම් හඳුනාගන්නා ලෙස අමාත්‍යවරයා නගරාධිපතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

තවද, මෙට්‍රෝ බස් මෙහෙයුම් සඳහා සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය වූ පද්ධතියක සැලසුම් අවසන් කර ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර ඇති අතර, එමගින් බස් රථ කළමනාකරණය, මගී තොරතුරු, ගාස්තු අයකර ගැනීම සහ මෙහෙයුම් නිරීක්ෂණය සිදුවනු ඇත. ඉදිරියේදී පෞද්ගලික අංශයද සම්බන්ධ කරගනිමින් මෙම මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගර වෙතද ව්‍යාප්ත කිරීමට රජය සැලසුම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here