භෝටේකොෂි ගංගාවේ ඇතිවූ හදිසි ගංවතුරෙන් ජීවිතක්ෂයට පත් වූවන් වෙනුවෙන් නේපාල රජය ප්‍රකාශයට පත්කළ ජාතික ශෝක දිනයට සමගාමීව, කොළඹ පිහිටි නේපාල තානාපති කාර්යාලයේදී ඉටිපන්දම් දැල්වීමේ සහ ශෝකය පළකිරීමේ විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.
මෙම විශේෂ සැමරුම ඊයේ (07) නේපාල තානාපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වුණේ විපතට පත්වූවන් සිහිපත් කිරීම සහ අහිමිවීම්වලට ලක්වූ පවුල් වෙත සංවේගය පළකිරීම උදෙසාය. ජාතික අන්තර් ආගමික පූජක එකමුතුවේ ඛෝද්ධ කටයුතු පිළිබඳව සම්බන්ධීකාරක සහ සභාපති, පූජ්‍ය ආචාර්ය සාස්ත්‍රපති ගලගම ධම්මරන්සි නායක හිමියන්, හින්දු කටයුතු පිළිබඳව සම්බන්ධීකාරක ආචාර්ය සිව ශ්‍රි ආර්. කුමාර් සුවාමි කුරුක්කල්තුමා, මුස්ලිම් කටයුතු පිළිබඳව සම්බන්ධීකාරක සහ සම-සභාපති අල්-හාජ් අෂ්-සෙය්යිද් ආචාර්ය හසන් මව්ලානා අල්-කාදිරිතුමා,රිස්තියානි කටයුතු පිළිබඳව සම්බන්ධීකාරක සහ මහලේකම් ආචාර්ය නිශාන් සම්පත් කුරේ පියතුමා ඊට සහභාගී වූහ.
නේපාල තානාපති කාර්යාලයේ භාරකාර නිලධාරී විජේ කුමාර් රවුට් (Vijay Kumar Raut) මහතා රැස්වීම අමතමින්, මෙම අවස්ථාවට එක්වූ සැමට සිය කෘතඥතාව පිරිනැමීය.
නේපාල තානාපති කාර්යාලීය නිලධාරීන්, ශ්‍රී ලංකා විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නියෝජිතයන්, විදේශීය තානාපතිවරුන්, ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන්, ශ්‍රී ලංකාවේ වෙසෙන නේපාල ජාතිකයන් සහ නේපාල හිතවතුන් පිරිසක් එක්ව ඉටිපන්දම් දල්වා මියගිය පිරිස සිහිපත් කළහ.
විපතට පත්වූවන් වෙනුවෙන් ශෝකය පළකිරීම සඳහා අගෝස්තු 31 සිට සැප්තැම්බර් 03 දක්වා සහ සැප්තැම්බර් 07 වනදා තානාපති කාර්යාලයේ ශෝක සටහන් පොතක් ද විවෘත කර තිබුණි.
මෙම ශෝකජනක අවස්ථාවේදී නේපාලය සමඟ එකට සිටගනිමින් ශෝකය පළකිරීමට එක්වූ සියලු දෙනාට නේපාල තානාපති කාර්යාලය සිය විශේෂ ස්තූතිය පළකර සිටියි.


