ගෝලීය ඉන්ධන මිල ඉහළ යාමට හේතු වී ඇති සැපයුම් හිඟයට පිළියම් යෙදීම සඳහා ජාත්‍යන්තර බලශක්ති නියෝජිතායතනයේ (IEA) සම්බන්ධීකරණය යටතේ ඉදිරි මාස හතර ඇතුළත බොරතෙල් සහ ඩීසල් බැරල් මිලියන 100ක් වෙළෙඳපොළට මුදාහැරීමට G7 රටවල් තීරණය කර තිබේ.
අමෙරිකානු පාරිභෝගිකයින් වෙනුවෙන් ඩීසල් අපනයනය තහනම් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ තර්ජනයත් සමඟ, එකිනෙකා අතර බලශක්ති අපනයන සීමා කිරීමෙන් වැළකී සිටීමටත්, විශේෂයෙන්ම පළමු දින 20 ඇතුළත යුරෝපා රටවල පවතින අතිරික්ත ඩීසල් සංචිත ප්‍රමාණයක් වෙළෙඳපොළට නිදහස් කිරීමටත් මෙහිදී එකඟතාව පළ විය.
අමෙරිකා-ඊශ්‍රායල සහ ඉරාන උණුසුම් තත්ත්වය හමුවේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 102 දක්වා ඉහළ ගොස් ඇති පසුබිමක, ප්‍රවාහන හා කෘෂිකාර්මික ක්ෂේත්රවල පිරිවැය පාලනය කරමින් ගෝලීය බලශක්ති සැපයුම සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ස්ථාවර කිරීම මෙම පියවරේ ප්‍රධාන අරමුණයි.

