බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වේ

0
15

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඊයේ (15) රාත්‍රී 11.30 වන විට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 640ක පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ මෙම පද්ධතිය, දිවයිනෙන් ඉවතට ගමන් කරමින් අද (16) සවස් කාලයේදී දකුණු සහ යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළි කුණාටුවක් දක්වාත්, නොවැම්බර් 17 වැනිදා වන විට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව ප්‍රබල සුළි කුණාටුවක් දක්වාත් තවදුරටත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර, දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ යම් අඩුවීමක් අද (16) සිට අපේක්ෂා කළ හැකි වුවද, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය. එසේම, ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, බොහෝ ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here