බහුදින ධීවර යාත්‍රා සඳහා ‘රතු නිවේදනයක්’ නිකුත් කෙරේ

0
6

බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ ගමන් කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාව වෙනුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ ‘රතු’ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක ප්‍රදේශයේ දැනට නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය කිහිපය තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ වැඩි සම්භාවිතාවක් පවතින අතර, ඉන් අනතුරුව මෙම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ඔක්තෝබර් 26 වන දින උදෑසන වන විට බෙංගාල බොක්කේ බටහිර මධ්‍යම ප්‍රදේශය ආශ්‍රිතව මෙම පද්ධතිය සුළි කුණාටුවක් බවට පත්වීමේ ඉතා ඉහළ සම්භාවිතාවක් පවතින බවයි. මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 10ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම් දී ඇත.

එමෙන්ම දැනට එකී මුහුදු ප්‍රදේශවල නිරතව සිටින ධීවර යාත්‍රා වහාම ආරක්ෂිත ප්‍රදේශ කරා හෝ ගොඩබිම දෙසට යාත්‍රා කරන ලෙස උපදෙස් දී තිබේ. ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, ඉදිරියට නිකුත් කෙරෙන කාලගුණ නිවේදන පිළිබඳව විමසිලිමත් වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here