බංග්ලාදේශ බොක්කේ හටගත් ‘අක්වාන්’ සුළි කුණාටුව ශ්‍රී ලංකාවට ඔබ්බෙන් ඉදිරියට

0
15

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය තවදුරටත් වර්ධනය වී ‘අක්වාන්’ (Akvan) නමින් සුළි කුණාටුවක් බවට පත්ව ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (17) උදෑසන නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. ඊයේ රාත්‍රී 11.30 වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 640ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ මෙම පද්ධතිය, ශ්‍රී ලංකාවෙන් ඉවතට, උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද පස්වරු 5.30 පමණ වන විට දරුණු සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට ඉහළ සම්භාවිතාවක් පවතී.

තවද, නොවැම්බර් 19 වන දින වන විට එය ඉතා දරුණු සුළි කුණාටුවක් බවට පත්විය හැකි බවටද පුරෝකථනය කර ඇති අතර, නොවැම්බර් 20 වැනිදා දහවල් 11.30 පමණ වන විට ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් සහ යනාම් වෙරළ තීරයේ නෙල්ලෝර් සහ ටුනි අතරින් එය ගොඩබිමට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර, දිවයිනේ වත්මන් කාලගුණ තත්ත්වය යටතේ අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව, ඌව පළාතේ මෙන්ම අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලද ඇතැම් ස්ථානවල පස්වරු 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කළ හැකි අතර, බොහෝ ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත ස්වභාවයක්ද දක්නට ලැබෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here