බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට සැරසෙයි

0
59

ධුරයෙන් නෙරපා හරින ලද හිටපු බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා නැවතත් රට තුළට පැමිණීමට සූදානම් වන බවට පළවන වාර්තාත් සමඟ, ඇගේ හිතවාදියෙකු ලෙස සැලකෙන වත්මන් බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුද්දීන් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

2024 වසරේ පැවැති ශිෂ්‍ය උද්ඝෝෂණ මර්දනය කරමින් පුද්ගලයන් 1,400කට ආසන්න සංඛ්‍යාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අන්තරායකර අපරාධ අධිකරණය විසින් හසීනාට මරණ දඬුවම නියම කර තිබේ.

එම අධිකරණ නඩුවලට මුහුණ දීම සඳහා තමා නැවත බංග්ලාදේශයට පැමිණෙන බව හසීනා රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර දින කිහිපයකට පසුව ජනාධිපතිවරයාගේ මෙම ඉල්ලා අස්වීමේ තීරණය කරළියට පැමිණ ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, වෛද්‍ය ප්‍රතිකාර සඳහා මේ වන විට තායිලන්තය බලා ගොස් සිටින පාර්ලිමේන්තු කථානායක හෆීස් උද්දින් අහමඩ් මහතා ආපසු පැමිණීමෙන් පසු ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය නිල වශයෙන් භාරදීමට නියමිතය.

මෙම ඉල්ලා අස්වීමට සෞඛ්‍ය හේතූන් දැක්වීමට ඉඩ ඇති බවට වාර්තා වුවද, ඊට සැබෑ හේතුව වී ඇත්තේ පාලක බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) නායකයින්ගෙන් ජනාධිපතිවරයා වෙත එල්ල වූ දැඩි දේශපාලන බලපෑම බව ද සඳහන් වේ.