පාර්ලිමේන්තුවේදී අගමැති හා කථානායක ප්‍රධානත්වයෙන් නවරාත්‍රී පූජෝත්සවය සැමරේ

0
18

ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය මැනවින් සංකේතවත් කරමින්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික නවරාත්‍රී පූජෝත්සවය ඊයේ (20) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පවත්වන ලදී.

කථානායකවරයාගේ උපදෙස් මත බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මෙම සංවිධාන කටයුතු සිදුකර තිබිණි. හින්දු පූජකවරුන්ගේ ආගමික චාරිත්‍ර හා ආශීර්වාදාත්මක නර්තනාංගවලින් මෙම උත්සවය අතිශයින් වර්ණවත් විය.

උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ යහපත් සිතිවිලි පෙරදැරිව පවත්වන මෙම උත්සවය සමස්ත රටටම මහත් ආශීර්වාදයක් වන බවත්, අනෙකුත් සංස්කෘතීන්ට ගරු කරමින් ආගමික සහජීවනය ශක්තිමත් කිරීමෙන් වඩාත් යහපත් රටක් ගොඩනැඟිය හැකි බවත්ය.

දුර්ගා, ලක්ෂ්මි සහ සරස්වතී දේවියන්ගේ ආශීර්වාදයෙන් රටට අයහපත දුරුවී, ඉසුර හා ප්‍රඥාව වර්ධනය වේවායි ප්‍රාර්ථනා කරන බව කථානායකවරයා මෙහිදී පැවසීය. දින නවයක් පුරා දේවියන් වෙනුවෙන් පුද පූජා පවත්වමින් සමරන මෙම නවරාත්‍රී උත්සවය කිසිදු භේදයකින් තොරව සැමරීම සුවිශේෂී ආදර්ශයක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, අමාත්‍යවරුන් වන වෛද්‍ය නලින්ද ජයතිස්ස, ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි, රාමලිංගම් චන්ද්‍රසේකර් ඇතුළු මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර ඇතුළු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here