පාගමනින් ආ සඟරුවන්ගේ ඉල්ලීම ඉටු කළ නොහැකි බව ලාල් කාන්ත කියයි

0
10

සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දෙන ලෙස ඉල්මින් පැවති පාගමන සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කර ඇත්තේ, ජනාධිපතිවරයා හෝ වත්මන් රජය කිසිවිටෙකත් ජන වරමට පිටුපාමින් කටයුතු නොකරන බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුව සෑමවිටම කටයුතු කරනු ලබන්නේ තමන් වෙත ලැබී ඇති ජනවරමට අනුකූලව බව ඒ මහතා පෙන්වා දී ඇත. පසුගිය පාලන සමයන් මෙන් නොව, අද වන විට රට තුළ නීතියේ අධිපත්‍ය සම්පූර්ණයෙන්ම තහවුරු කර ඇති බැවින්, අදාළ පාගමනින් පැමිණි භික්ෂූන් වහන්සේගේ ඉල්ලීමට එකඟ වීමට නොහැකි බව අමාත්‍යවරයා සඳහන් කළේය.

එවැනි ඉල්ලීමක් ඉටු කිරීම යනු ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ජනවරමට පිටුපෑමක් ලෙස සැලකීමට සිදුවන බවද කේ.ඩී. ලාල් කාන්ත මහතා වැඩිදුරටත් කියාසිටියේය.

“කොහොම වුණත්, අපේ හාමදුරුවන් වහන්සේලාටත්, පොදු ජනතාවටත්, සෑම සියලු දෙනාටමත් දැනගැනීම සඳහා ස්ථිරව යමක් කිව යුතුව තිබෙනවා. ඒ තමයි බලන්න ජනවරම දිහා. අපිට ලැබිච්ච ජනවරම දිහා බලන්න.

ඒ ජනවරම මත පදනම් වෙලා තමයි,  ජනාධිපතිතුමා ගන්න තීරණ ගන්නේ. ඒ වගේම ආණ්ඩුව තීරණය ගන්නේ ජනවරමත් එක්ක. මේ ජනවරමේ තියෙන්නේ, නීතියේ ආධිපත්‍ය ඉල්ලලා තියෙන ජනවරමක් තියෙන්නේ. ඒ දිසාවට රට හරවලා තියෙන්නේ. ඒක කවුරුත් දන්නවා.

ඉතිං අපේ පාගමනින් වැඩිය ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම ඉෂ්ට කරන්න පුළුවන් එකක් නෙවෙයි ඇත්තටම. ඒක ඉෂ්ට කරන්න බෑ. ඒක ඉෂ්ට කළොත් ජනාධිපතිතුමත් ආණ්ඩුවත් ජනවරමට පිටුපෑවා වෙනවා.  ඒ නිසා ජනවරමට පිටුපාන්න කිසිසේත්ම බෑ. මේ ඉල්ලීම ඉෂ්ට කරන්න පුළුවන් ඉල්ලීමක් නෙවෙයි. ඒක අපේ හාමදුරුවන් වහන්සේලාට තේරුම් ගන්න පුළුවන් දෙයක්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here