පවතින වැසි සමග ජලාශ රැසක වාන් දොරටු විවෘත කෙරේ

0
6

දිවයිනට ලැබෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ජලාශ රැසක ජල මට්ටම ඉහළ යෑම නිසා ඒවායේ වාන් දොරටු විවෘත කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව දැදුරු ඔය, රාජාංගණය, කුකුළේ ගඟ සහ කලාවැව යන ජලාශවලින් මේ වන විට ජලය මුදා හැරීම සිදුවෙමින් පවතින අතර, එම ජලාශවලට පහළින් පිහිටි ගංගා සහ ඔය ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන ජනතාවට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ අංශ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

ජල මට්ටම පාලනය කිරීම සඳහා දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු අටක් අඩි දෙක බැගින් විවෘත කර ඇති අතර, ඒ හරහා දැදුරු ඔයට තත්පරයට ඝන අඩි 10,400ක ජල ප්‍රමාණයක් මුදා හැරේ. රාජාංගණය ජලාශයේ වාන් දොරටු හයක් විවෘත කරමින් කලා ඔයට තත්පරයට ඝන අඩි 3,800කට අධික ජල ප්‍රමාණයක් මුදා හරිනු ලබන අතර, පෝෂක ප්‍රදේශවල වර්ෂා තත්ත්වය මත ඉදිරියේදී මෙම ජල මුදා හැරීම තවදුරටත් ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.

මීට අමතරව, පවතින වැසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් කුකුළේ ගඟ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇති අතර, වාන් දැමීම මඟින් සහ විදුලි උත්පාදන කටයුතු හරහා කුඩා ගඟට මුදා හැරෙන සමස්ත ජල ප්‍රමාණය තත්පරයට ඝන මීටර් 93කි. ඉහළ පෝෂක ප්‍රදේශවලට ලැබෙන වැසි සමඟ කලාවැවේ ජල ධාරිතාව අක්කර අඩි 83,782 දක්වා ඉහළ ගොස් ඇති බැවින්, වාන් දැමීමේ අවදානම පාලනය කිරීමට එහි හදිසි වාන් දොරටු දෙකක් අඟල් හයක් බැගින් විවෘත කර කලා ඔයට ජලය මුදා හැරීම සිදු කෙරේ.

මෙම තත්ත්වය හමුවේ දැදුරු ඔය සහ කලා ඔය ආශ්‍රිත පහළ ප්‍රදේශවල පදිංචිකරුවන් ජල මට්ටම්වල සිදුවන වෙනස්වීම් පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත්විය යුතුය. එමෙන්ම, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ අංශ නිකුත් කරනු ලබන නිල නිවේදන හා උපදෙස් අනුව කටයුතු කරන ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here