අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්රිනී ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා නිකුත් කර තිබූ වරෙන්තුව අද (27) දින ආපසු කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
මීට පෙර මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා ඇය අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් අධිකරණය විසින් නිකුත් කරනු ලැබීය. කෙසේ වෙතත්, අද දින මෝසමක් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මොහාන් සෙනෙවිරත්න මහතා කරුණු දක්වමින් කියා සිටියේ, හදිසි කටයුත්තක් යෙදීම හේතුවෙන් ඇයට එදින පෙනී සිටීමට නොහැකි වූ බවයි. එමෙන්ම ඒ පිළිබඳව අධිකරණයට කණගාටුව පළ කරන බවත්, වරෙන්තුව ආපසු කැඳවන ලෙසත් ඔහු ඉල්ා සිටියේය.
නඩු ගොනුව පරීක්ෂා කළ කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්නා සුවඳුරුගොඩ මහත්මිය, විත්තිකාරිය මීට පෙර අවස්ථා කිහිපයකදී ද නිසි පරිදි පෙනී සිට නොමැති බව පෙන්වා දුන්නාය. කෙසේ වෙතත්, මින් ඉදිරියට නිසි වෙලාවට අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට දැඩිව අවධාරණය කළ විනිසුරුවරිය, ඇයට එරෙහිව පනවා තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග කළාය.
අවිධිමත් විදේශ ගමන් බලපත්රයක් භාවිතා කරමින් වීසා නොමැතිව ශ්රී ලංකාවේ රැඳී සිටීමෙන් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ඩයනා ගමගේ මහත්මියට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

