ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ – පහළ ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම්දීමක්

0
2

පවතින අධික වර්ෂාව හේතුවෙන් දැදුරු ඔය සහ තබ්බෝව ඇතුළු ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඊයේ (25) රාත්‍රිය වන විට දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු අටම අඩි දෙක බැගින් විවෘත කර ඇති අතර, ඒ හරහා තත්ත්පරයට ඝන අඩි 11,200ක ජල ධාරිතාවක් දැදුරු ඔයට මුදා හැරේ.

මේ නිසා ජලාශයෙන් පහළ දැදුරු ඔය දෙපස වෙසෙන ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බව දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. ඊට අමතරව තබ්බෝව සහ ලුණුගම්වෙහෙර ජලාශවල ද වාන් දොරටු දෙක බැගින් විවෘත කර තිබේ.

මේ අතර, ඊයේ (25) රාත්‍රියේ වික්ටෝරියා ජලාශයේ ද වාන් දොරටු අටම අඟල් හය බැගින් ස්වයංක්‍රීයව විවෘත වී තත්ත්පරයට ඝන මීටර් 560ක ජල ප්‍රමාණයක් රන්දෙණිගල ජලාශය වෙත මුදාහැරෙන බව එහි නඩත්තු කටයුතු භාර ඉංජිනේරු උදිත් ඒකනායක මහතා සඳහන් කළේය.

මෙම වසර තුළ වික්ටෝරියා ජලාශය වාන් දැමූ නවවැනි අවස්ථාව මෙය වන අතර, වාන් දොරටු සියල්ලම විවෘත වූ තෙවැනි අවස්ථාව ද වේ. තවද, අත්තනගලු ඔයේ ජල මට්ටම ද දූනමලේ ප්‍රදේශයෙන් ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here