ඓතිහාසික සාරානාත් පුදබිම යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත්වෙයි

0
64

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි පිහිටි ඓතිහාසික සාරානාත් බෞද්ධ පුදබිම නිල වශයෙන් යුනෙස්කෝ (UNESCO) ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. මෙය මෙම ලැයිස්තුවට එක් වූ ඉන්දියාවේ 45 වැනි ස්මාරකය ලෙස සනිටුහන් වේ. වරනාසියේ සිට කිලෝමීටර් 10ක් පමණ දුරින් පිහිටි සාරානාත් පුදබිම, අප තථාගත බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමෙන් පසු පස්වග තවුසන්ට ප්‍රථම ධර්ම දේශනාව වන ‘දම්සක් පැවතුම් සූත්‍රය’ දේශනා කිරීම සඳහා තෝරාගත් පූජනීය භූමියයි. අද වන විටත් ඉහළ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතුව සංරක්ෂණය කර ඇති මෙහි, ප්‍රථම දම්සක් දෙසුම සිහිපත් කරන ධමේඛ (ධම්මික) ස්ථූපය, මූලගන්ධකුටි විහාරය සහ චෞඛණ්ඩි ස්ථූපය සුවිශේෂී ස්ථානයක් ගනී. මීට අමතරව, ක්‍රිස්තු පූර්ව 273ත් 232ත් අතර කාලයේදී අශෝක අධිරාජ්‍යයා විසින් ඉදිකරන ලද, වර්තමාන ඉන්දියාවේ ජාතික ලාංඡනය ලෙස භාවිත වන සිංහ මූර්තිය සහිත සිංහ ස්තම්භය ද මෙහි ඇති තවත් වැදගත් අංගයකි.

සියවස් ගණනාවක් තිස්සේ සැඟවී තිබූ මෙම ඓතිහාසික පුදබිම 1835-36 කාලයේදී ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කණින්හැම් මහතා විසින් යළි මතු කරගත් අතර, 1931 වසරේදී එහි මූලගන්ධකුටි විහාරය ඉදිකරමින් එය ලෝක බෞද්ධ ජනතාවට උරුම කර දීමට ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් (සිරි දේවමිත්ත ධම්මපාල හිමි) සුවිශේෂී මෙහෙවරක් ඉටු කළේය. උන්වහන්සේ ඉන්දියාවේ බුදු දහම නගාසිටුවීමට කළ දැවැන්ත මෙහෙවරෙහි අවසාන සහ වඩාත්ම අධ්‍යාත්මික අවධිය ගත කළේ ද, පැවිදි දිවියට ඇතුළත්ව උපසම්පදාව ලබා අවසානයේ අපවත් වූයේ ද මෙම සාරානාත් පුදබිමේදීය.

මෙම පසුබිම තුළ, සාරනාත් පුදබිම ලෝක උරුමයක් ලෙස නම් කිරීමට කැප වී කටයුතු කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රමුඛ රජයට සහ යුනෙස්කෝ මහලේකම් Khaled El-Enany මහතාට ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සහ ලෝකවාසී බෞද්ධ ජනතාවගේ කෘතඥතාව පිරිනමන බව එහි සභාපති, ජපානයේ ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියෝ ප්‍රකාශ කරති. තමන් වහන්සේ ද බරණැස මහාබෝධි විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබන සමයේ එහි සිදුවූ පුරාවිද්‍යා කැණීම් දෙස බලා සිටීමෙන් ඇති වූ ආශාව පසුකාලීනව පුරාවිද්‍යා උපාධියක් හැදෑරීමට තමන්ව පොළඹවනු ලැබූ බව ද නාහිමියෝ මෙහිදී ආවර්ජනය කර සිටිති.