‘අර්නාබ්’ කුණාටුවෙන් අතුරුදන් වූ ධීවර යාත්‍රාව සහ ධීවරයින් 4 දෙනා නිරුපද්‍රිතව සොයාගනී

0
11

‘අර්නාබ්’ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් මුහුදේදී සන්නිවේදන සබඳතා බිඳවැටී අතුරුදන්ව සිටි “IMUL-A-0022 TLE” දරන ධීවර යාත්‍රාව සහ එහි ගමන් කළ ධීවරයින් සිව්දෙනා නිරුපද්‍රිතව සොයා ගැනීමට හැකි වූ බව ධීවර අමාත්‍යාංශය නිවේදනය කරයි. පොතුවිල් වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 200ක පමණ දුරින් පිහිටි ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී ඊයේ (නොවැම්බර් 01) මෙම යාත්‍රාව සොයාගෙන තිබේ.

කුඩාවැල්ල ධීවර වරායෙන් දින හතරක ධීවර කටයුත්තක් සඳහා ගිය මෙම යාත්‍රාව, පසුගිය ඔක්තෝබර් 21 වැනි දින මුහුදු ගොස් තිබුණි. ‘අර්නාබ්’ කුණාටුවත් සමඟ ඇති වූ දැඩි සුළං සහ රළු මුහුදු තත්ත්වය හේතුවෙන් යාත්‍රාවේ සන්නිවේදන සබඳතා බිඳවැටී තිබූ අතර, ඒ පිළිබඳ තොරතුරක් නොමැති වීමත් සමඟ ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය සහ අනෙකුත් ධීවර යාත්‍රා ඒකාබද්ධව විශේෂ සෙවීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

මේ වන විට යාත්‍රාවේ සිටි ධීවරයින් සිව්දෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත්, ඔවුන් ආරක්ෂිතව ගොඩබිමට රැගෙන ඒමට සහ අවශ්‍ය මූලික වෛද්‍ය පහසුකම් සැලසීමට කටයුතු යොදා ඇති බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. මෙම සාර්ථක මෙහෙයුම සඳහා දායක වූ නාවික හමුදාවට, වෙරළාරක්ෂක බලකායට සහ ධීවර ප්‍රජාවට සිය කෘතඥතාව පළ කරන ධීවර අමාත්‍යාංශය, මුහුදු යාමට පෙර කාලගුණ අනතුරු ඇඟවීම් පිළිබඳ දැඩි අවධානය යොමු කරන ලෙසත් සන්නිවේදන උපකරණවල නිසි ක්‍රියාකාරීත්වය තහවුරු කරගන්නා ලෙසත් ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here