අපරාධ මර්දනයෙන් පමණක් යහපත් රටක් ගොඩනැගිය නොහැකියි – ජනපති

0
3

අපරාධ මර්දනය කිරීමෙන් පමණක් යහපත් රටක් නිර්මාණය කළ නොහැකි බවත්, ඒ සඳහා ජනතාවගේ ආර්ථිකය ද ශක්තිමත් කළ යුතු බව බුද්ධ දේශනාවේ පවා පෙන්වා දී ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

කැලණිය නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී අද (28) ආරම්භ වූ ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සර උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය:

“කිසියම් රාජ්‍යයක ස්ථාවරත්වය හෝ අස්ථාවරත්වය තීරණය වන්නේ රට පාලනය කරන පාලකයන්ගේ ක්‍රියාකලාපය මතයි. පාලකයා ධාර්මික හා ප්‍රතිපත්තිගරුක වන විට රට සෞභාග්‍යය කරා ගමන් කරනවා. එමෙන්ම පාලකයා දූෂිත සහ අධාර්මික වන විට මුළු රටම අරාජික වෙනවා. මෙය සෑම රාජ්‍යයකටම පොදු කරුණක්. බුදු දහම ප්‍රායෝගික සහ සර්වකාලීන දහමක් වන්නේ ඒ නිසයි.”

1966 වසරේදී ශ්‍රී ලංකාවෙන් ආරම්භ වූ ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වැනි සංවත්සරය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර, ඊට සමගාමීව නාගානන්ද අධ්‍යයන ආයතනය විවෘත කිරීම ද සිදුවිය.

ත්‍රෛනිකායික මහනාහිමිවරුන් සහ අනුනායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ පැවැති මෙම අවස්ථාවට, සම්මේලනය නියෝජනය කරන රටවල් 50ක නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු දෙස් විදෙස් ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියහ.

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 11 වැනි මහ සභාවේ 02 වැනි විධායක කමිටු සභාවාරය ඇතුළු ආගමික වැඩසටහන් රැසක් හෙට (29) සිට දෙසැම්බර් 02 වැනිදා දක්වා මෙරටදී පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here