තායිලන්තයේ Nonthaburi හි ‘Debsirin Nonthaburi’ පාසල තුළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකින් පසු, ප්‍රහාරය එල්ල කළ බවට සැකකෙරෙන එම පාසලේම සිසුවා සියදිවි නසාගෙන ඇති බව බලධාරීහු තහවුරු කරති.
අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර 15 ත් 20 ත් අතර පිරිසක් තුවාල ලබා ඇති බව හදිසි සහන සේවා වාර්තා කරයි. මියගිය පිරිස අතර ගුරුවරයෙකු සහ සිසුවෙකු වන බවට ප්‍රදේශයේ වාර්තා සඳහන් කළද, බලධාරීන් විසින් ඔවුන්ගේ අනන්‍යතාවය මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත.
සිද්ධියත් සමගම ගුරුවරුන් එක්ව අනෙකුත් සිසුන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව පරිශ්‍රයෙන් ඉවත් කිරීමට කටයුතු කළ අතර, තුවාල ලැබූවන් ගිලන්රථ මගින් අසල පිහිටි රෝහල් වෙත ඇතුළත් කර තිබේ.
ප්‍රහාරය එල්ල කළ සිසුවාගේ බෑගයේ තිබී සජීවී පතොරම් විශාල ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, සොයාගන්නා අවස්ථාවේ සිසුවාට ප්‍රථමාධාර (CPR) ලබාදීමට සහන සේවකයින් උත්සාහ කළද පසුව ඔහු මියගොස් ඇති බව ප්‍රකාශයට පත් කෙරිණි.
මේ වන විට පොලීසිය විසින් පාසල් පරිශ්‍රයේ ආරක්ෂාව තහවුරු කර ඇති අතර, වෙඩි තැබීමට හේතුව සහ පසුබිම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

