ඉන්දියාවේ සිටින බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වීමෙන් පැය කිහිපයකට පසු, එරට හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම අවාමි ලීගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ශකීබ් අල් හසන්ගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඊයේ රාත්‍රී 8:45 ට පමණ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් ඔහුගේ නිවසට සහ දේපළවලට දැඩි අලාභහානි සිදු වී ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අවාමි ලීගය සඳහන් කර ඇත්තේ, අවාමි ලීග් මාධ්‍ය හමුවට සහභාගී වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙලෙස නිවාස ගිනි තබන බවත්, නව ෆැසිස්ට්වාදයක් බංග්ලාදේශය ගිලගෙන ඇති බවත්ය. අන්තර්ජාලය ඔස්සේ අදහස් දක්වමින් හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ප්‍රකාශ කළේ, ප්රජාතන්ත්රවාදය යළි ස්ථාපිත කිරීම වෙනුවෙන් අත්අඩංගුවට පත්වීමට හෝ මරණයට මුහුණ දීමට සූදානමින් එළඹෙන දෙසැම්බර් මාසයේදී නැවත බංග්ලාදේශයට පැමිණීමට තමා අදිටන් කරගෙන සිටින බවයි.

