පේරාදෙණිය සරසවි‍යේ සිසු සිසුවියන්ට විශේෂ දැනුම්දීමක්

0
4

ඊයේ (02) රාත්‍රියේ සිට ප්‍රදේශයට නොකඩවා ඇද හැලෙන තද වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මෙම අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන්ට ගංවතුර අවදානම පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස එහි උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා විශේෂ දැනුම්දීමක් කර ඇත. විශේෂයෙන්ම මහවැලි ගංද්‍රෝණියේ පිහිටා ඇති සරසවි නේවාසිකාගාරවල වෙසෙන සිසුන්, සිදුවිය හැකි ආපදා වළක්වා ගැනීම සඳහා අතිශය විමසිලිමත් විය යුතු බව උපකුලපතිවරයා අවධාරණය කරයි.

ජල මට්ටම මෙලෙස ඉහළ යාමත් සමඟ පේරාදෙණිය “කළු පාලම” අසල පිහිටි පාලම් ප්‍රතිසංස්කරණ වැඩබිම ද මේ වන විට ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ. එහි තිබූ යන්ත්‍ර සූත්‍ර රැසක් ජලයෙන් යටවී ඇති අතර, සැඩ ජල පහරට හසුවූ ඇතැම් උපකරණ සහ ද්‍රව්‍ය ගඟ පහළට ගසාගෙන ගොස් ඇති බව ද සඳහන් වේ.

මේ අතර, වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අද (03) දහවල් 12.30 ට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉදිරි පැය 24 තුළ මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ කිහිපයක ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව දන්වා සිටී. හෙට (04) මධ්‍යම රාත්‍රී 12.30 දක්වා වලංගු වන මෙම අනතුරු ඇඟවීම මහවැලි ගඟ ද්‍රෝණියේ උඩුනුවර, උඩපළාත, යටිනුවර, ගඟඉහළ කෝරළය, පස්බාගේ කෝරළය සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් ප්‍රදේශ සඳහා අදාළ වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here