නිරායුධ වීමට හමාස් සහ අනෙකුත් කණ්ඩායම් එකඟවූ කරුණු මොනවාද?

0
14

ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සංවිධානය ඇතුළු පලස්තීන සන්නද්ධ කණ්ඩායම් තම ආයුධ අත්හැරීමේ (විසන්නද්ධකරණය) සැලැස්මක් ඇතුළත් ලිපි ලේඛනයකට එකඟතාව පළ කර ඇති බව වාර්තා වේ. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙය සාමය සහ ආරක්ෂාව උදෙසා තැබූ “වැදගත් සහ ඓතිහාසික පියවරක්” ලෙස හඳුන්වා දී ඇත.

අල් ජසීරා (Al Jazeera) පුවත් සේවය වෙත ලැබී ඇති අදාළ ගිවිසුම් පිටපතට අනුව, ඉදිරි දින 14 ඇතුළත ආයුධ බිම තැබීමේ නිශ්චිත මාර්ග සිතියම සකස් කළ යුතුව ඇත. ජාත්‍යන්තර පරීක්ෂණ මණ්ඩලයක අනුමැතිය සහ සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව මත එම කාලසීමාව තවදුරටත් දීර්ඝ කිරීමට ද ඉඩ සැලසේ.

මෙම එකඟතාව පිළිබඳ අදහස් දක්වමින් හමාස් නියෝජිත කණ්ඩායමේ සාමාජික ඝාසි හමාඩ් (Ghazi Hamad) සඳහන් කළේ, මෙය ඉතා දුෂ්කර සාකච්ඡා වට කිහිපයකින් පසු ලබාගත් හොඳම එකඟතාව බවයි. කෙසේ වෙතත්, ඉශ්‍රායලය සිය පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වුවහොත් මෙම ගිවිසුමේ කිසිදු කොටසක් ක්‍රියාත්මක නොකරන බව ද ඔහු අවධාරණය කළේය. ගාසා තීරයෙන් ඊශ්‍රායල හමුදා ඉවත් කරගැනීම සහ ප්‍රදේශයේ නැවත ගොඩනැඟීමේ කටයුතුවල ප්‍රගතිය මත ආයුධ බිම තැබීම තීරණය වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම එකඟතාව සම්බන්ධයෙන් ඊශ්‍රායලය මෙතෙක් නිල වශයෙන් අදහස් දක්වා නොමැත.

ගාසා තීරයේ පාලන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා පිහිටුවන ලද ‘සාම මණ්ඩලයේ’ (Board of Peace) විශාල ජයග්‍රහණයක් ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම පියවර හඳුන්වා දී ඇත. “නව පලස්තීන රජයක් මඟින් ගාසා තීරය පාලනය කිරීම උදෙසා තැබූ තීරණාත්මක පියවරක් වන මෙය, සාම මණ්ඩලය සමඟ සමීපව කටයුතු කරනු ඇත. එමෙන්ම, ගාසා තීරය තවදුරටත් ත්‍රස්ත ප්‍රහාර සඳහා භාවිත නොවන බැවින් ඉශ්‍රායලයට හිමිවිය යුතු ආරක්ෂාව ද තහවුරු වේ,” යනුවෙන් ට්‍රම්ප් සිය ‘Truth Social’ ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ.

මෙම ගිවිසුමට අනුව, ජාතික කමිටුව (National Committee) සහ ජාත්‍යන්තර ස්ථාවරත්ව බලකාය (International Stabilisation Force) ගාසා තීරයට ඇතුළු වීමත් සමඟම ආයුධ බිම තැබීමේ ක්‍රියාවලිය ආරම්භ වීමට නියමිතය. මෙම ආයුධ ඊශ්‍රායලයට හෝ පලස්තීන නොවන වෙනත් කිසිදු පාර්ශ්වයකට භාර නොදෙන අතර, ගාසා තීරයේ ආයුධ භාරව කටයුතු කරන එකම බලධාරියා වන්නේ ජාතික කමිටුවයි.

සාම මණ්ඩලයේ උසස් නිලධාරියෙකු අල් ජසීරා වෙත තහවුරු කර ඇත්තේ මුලින්ම පොලිසිය සතු ආයුධ භාරදෙනු ඇති බවත්, ඉන් අනතුරුව බර පංතියේ අවි ආයුධ බිම තැබෙනු ඇති බවත්ය. මෙම සැලැස්ම යටතේ ගාසා තීරයේ සියලුම හමුදාමය ක්‍රියාකාරකම් නතර කළ යුතු වුවද, සමස්ත ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා යම් කාලයක් ගතවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here