බෞද්ධ ඉතිහාසයේ අතිශය වැදගත් සිදුවීම් රැසකට මුල් වූ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (29) යෙදී තිබේ. සිදුහත් බෝසතාණන් වහන්සේ මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගැනීම, ගිහිගෙය කලකිරී මහා අභිණිෂ්ක්‍රමණය කිරීම සහ රාහුල කුමරුගේ උපත සිදුවීම වැනි උතුම් සිදුවීම් රැසක් සිදුවූයේ ද අද වැනි ඇසළ පොහොය දිනක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ. එසේම, බුදුරජාණන් වහන්සේ තම ප්‍රථම ධර්ම දේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කිරීමත්, තව්තිසා දෙව්ලොව දී මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙවියන්ට අභිධර්මය දේශනා කිරීමත් සිදුවූයේ ද අද වැනි උතුම් දිනයක ය.
ශ්‍රී ලාංකේය බෞද්ධ ඉතිහාසය දෙස බැලීමේදී ද ඇසළ පොහොයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. මිහිඳු මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අරිට්ඨ කුමරු ඇතුළු පනස් දෙනෙකු පැවිදි උපසම්පදාව ලැබීමත්, දන්ත කුමරු සහ හේමමාලා කුමරිය විසින් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ ලක්දිවට වැඩම කරවීමත් සිදු වූයේ අද වැනි දිනකය. මීට අමතරව, මහා සංඝරත්නය වස් කාලය සඳහා වස්විසීම (පෙරවස් සමාදන් වීම) ආරම්භ කරන්නේ ද ඇසළ පොහොය දිනයේ සිට වීම මෙහි ඇති තවත් සුවිශේෂී ශාසනික චාරිත්‍රයකි.
මෙවැනි ඓතිහාසික හා ශාසනික වැදගත්කමකින් යුත් ඇසළ පොහොය දිනය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් ප්‍රතිපත්ති සහ ආමිස පූජාවන්ට මුල්තැන දෙන ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

