උපරිමාධිකරණ (අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය) විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව රජය විසින් නුදුරේදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. කෙසේ වෙතත්, මෙමඟින් අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට සහ ස්ථාවර පැවැත්මට බරපතළ බලපෑම් එල්ල විය හැකි බැවින්, අදාළ සංශෝධනය සිදු නොකරන ලෙස ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගෙන් ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.
ප්‍රාථමික අධිකරණ විනිසුරුවන් වන දිසා විනිසුරුවන් සහ මහේස්ත්‍රාත්වරුන්ගෙන් සැදුම්ලත් මෙම සංගමය, පසුගිය ජූලි 11 වනදා පැවැති මහා සභා රැස්වීමේදී මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් යෝජනාවක් සම්මත කරගත් අතර, ඒ පිළිබඳ ජනාධිපතිවරයා ද ලිඛිතව දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව රැසක් ද මේ වනවිටත් මෙම යෝජනාවට සිය විරෝධය පළ කර ඇත.
මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදු නොකළ යුත්තේ මන්දැයි කරුණු දක්වන අධිකරණ සේවා සංගමය පෙන්වා දෙන්නේ, යෝජිත සංශෝධනය හේතුවෙන් ඉදිරි වසර දෙකක කාලය තුළ අධිකරණ නිලධාරියෙකු ඉහළ අධිකරණයකට හෝ ශ්‍රේණියකට උසස්වීම සම්පූර්ණයෙන්ම ඇණ හිටින බවයි. එමෙන්ම, මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස උසස්වීම් ලැබීමට ගතවන කාලය තවත් වසර දෙකකින් දීර්ඝ වීම නිසා මහාධිකරණ පත්වීම් ක්‍රමවේදයේ අසමතුලිතතාවක් වර්ධනය වන අතර, අධිකරණයේ වෘත්තීය විනිසුරු සංයුතිය ද දැඩි ලෙස පහත වැටේ.
මේ හේතුවෙන් සේවයේ නියුතු විනිසුරුවන්ගේ වෘත්තීය අභිප්‍රේරණය පිරිහීමට ලක්වන අතර, අධිකරණ සේවයේ පවතින ආකර්ෂණය අඩුවීම නිසා දක්ෂ තරුණ නීතිඥයින් වෙනත් වෘත්තීය මාවත් තෝරා ගැනීමට පෙළඹෙනු ඇත. එබැවින්, අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වසනීයත්වය සහ ගෞරවය අඛණ්ඩව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම ව්‍යවස්ථා සංශෝධනය නතර කිරීමට මැදිහත් වන ලෙස එම සංගමය අධිකරණ අමාත්‍යවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

