හෙට (28) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද (27) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. මීට අමතරව ඌව පළාතේ මෙන්ම මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පවතින සුළං තත්ත්වය සලකා බැලීමේදී, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40–50ක පමණ තද සුළං ඇතිවිය හැක. එබැවින් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර, ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අධික උණුසුම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්ද නිකුත් කර ඇත. ඒ අනුව නැගෙනහිර පළාතේ සහ කිලිනොච්චි, මුලතිව්, වව්නියා, පොලොන්නරුව සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේ මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇත.
මෙම අධික උණුසුම් තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, එළිමහන් වැඩබිම්වල කටයුතු කරන පුද්ගලයින් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීමට වගබලා ගන්නා ලෙසත් කාලගුණ දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. තවද, වැඩිහිටි, රෝගී සහ කුඩා ළමුන් පිළිබඳ දැඩි ලෙස සැළකිලිමත් විය යුතු අතර, අධික වෙහෙසකාරී කටයුතු සීමා කර, සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත්, කිසිදු විටෙක කුඩා ළමුන් වාහන තුළ තනිවම රඳවා නොයන ලෙසත් අවධාරණය කර සිටී.

