කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ. මෙහිදී ප්‍රධාන වශයෙන්ම අවධානය යොමුවී ඇත්තේ මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ සිද්ධියේදී රැඳවියන්ගේ සහ නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වීම ඇතුළු වගකීම් පැහැර හැරීමේ චෝදනා මත අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය විසින් පසුගිය 21 වනදා කථානායකවරයා වෙත භාරදුන් විශ්වාසභංග යෝජනාව අද දින විවාදයට ගැනීමට නියමිතව තිබීම පිළිබඳවයි.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ තීරණයට අනුව, අද දින පෙරවරු 9.30 සිට 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග යටතේ වන පාර්ලිමේන්තු කටයුතු සඳහාත්, පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත් වෙන් කර ඇත. ඉන් අනතුරුව පෙරවරු 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27/2 යටතේ වන ප්‍රශ්න විමසීමෙන් පසු, පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා වූ සම්පූර්ණ කාලය මෙම විශ්වාසභංග යෝජනාව විවාද කිරීම වෙනුවෙන් වෙන් කර තිබේ. මේ හේතුවෙන් අද දින විවාදයට ගැනීමට නියමිතව තිබූ පෞද්ගලික මන්ත්‍රී යෝජනා ඉදිරි දිනකදී සාකච්ඡාවට ගැනීමට ද තීරණය කර ඇත.

