වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම සඳහා වන නව පනත් කෙටුම්පතක් ප්‍රංශ පාර්ලිමේන්තුව විසින් අනුමත කර තිබේ.
ඒ අනුව, ටික්ටොක් (TikTok) ඇතුළු ප්රමුඛ පෙළේ සමාජ මාධ්‍ය යෙදුම් වෙත වයස අවුරුදු 15ට අඩු දරුවන්ට ප්‍රවේශ වීම වළක්වන පළමු යුරෝපා සංගමයේ රට බවට ප්‍රංශය පත්වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දැනටමත් ලොව පුරා රටවල් කිහිපයක්ම දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීම සඳහා විවිධ වයස් සීමාවන් සහ නීති රීති පනවා ඇත. ඒ අතරින් ඔස්ට්‍රේලියාව 2025 දෙසැම්බර් මාසයේ සිට වයස අවුරුදු 16ට අඩු දරුවන්ට සමස්ත සමාජ මාධ්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කරමින් එවැනි පියවරක් ගත් ලොව ප්‍රථම රට බවට පත්වූ අතර, මෙම නීතිය උල්ලංඝනය කරන සමාගම්වලට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50ක් දක්වා වූ දැවැන්ත දඩ මුදල් පැනවීමටද කටයුතු කර තිබේ.
මීට අමතරව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) විසින් වයස අවුරුදු 15ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇති අතර, මැලේසියාව සහ ඉන්දුනීසියාව යන රටවල්ද වයස අවුරුදු 16ට අඩු දරුවන්ට ප්‍රධාන සමාජ මාධ්‍ය යෙදුම් වෙත ප්‍රවේශ වීම නීතියෙන් වළක්වා ඇත. මේ අතර බ්‍රසීලය තරමක් වෙනස් ප්‍රවේශයක් ගනිමින්, වයස අවුරුදු 16ට අඩු දරුවන් භාවිත කරන සමාජ මාධ්‍ය ගිණුම් ඔවුන්ගේ දෙමාපියන්ගේ ගිණුම් සමඟ අනිවාර්යයෙන්ම සම්බන්ධ (Link) කළ යුතු බවට වන නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දී තිබේ.

