ඉරානය සමඟ පවතින යුද ගැටුම් හේතුවෙන් මේ වන විට අමෙරිකානු රජයට ඩොලර් බිලියන 37.5ක (පවුම් බිලියන 28ක පමණ) දැවැන්ත වියදමක් දැරීමට සිදුව ඇති බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් ප්‍රකාශ කර තිබේ. සෙනෙට් අයවැය කමිටුව හමුවේ අදහස් දක්වමින් ඔහු පෙන්වා දී ඇත්තේ, මෙම වියදම පසුගිය මැයි මාසයේ ගණන් බැලූ අවසන් ඇස්තමේන්තුවට වඩා ඩොලර් බිලියන 8කින් පමණ ඉහළ ගොස් ඇති බවයි. මේ තත්ත්වය මත මැදපෙරදිග හමුදා මෙහෙයුම් සඳහා අවශ්‍ය ඩොලර් බිලියන 67ක් ද ඇතුළුව, සමස්තයක් ලෙස ඩොලර් බිලියන 87ක අතිරේක මුදලක් වෙන් කර දෙන ලෙස ඔහු කොංග්රස් මණ්ඩලයෙන් ඉල්ලා ඇත. මෙම ප්‍රතිපාදන නොලැබුණහොත් හමුදා පුහුණු වැඩසටහන් කපා හැරීමට මෙන්ම යුද උපකරණ සහ ආයුධ සැපයුම් අඩාල වීමට ඉඩ ඇති බවට ද ආරක්ෂක ලේකම්වරයා අනතුරු අඟවයි.
කෙසේ වෙතත්, ආරක්ෂක ලේකම්වරයාගේ මෙම අරමුදල් ඉල්ලීමට ඩිමොක්රටික් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇති අතර, සෙනෙට් කමිටු විභාගය අතරතුරදී යුද විරෝධී ක්‍රියාකාරීන් ද එහි විරෝධතාවල නිරත වී තිබේ. මේ අතර, ඉරාකයේ සහ ජෝර්දානයේ සිදුවූ මෙහෙයුම්වලදී අමෙරිකානු සෙබළුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ මෙම යුදමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පවතින දේශපාලනික පීඩනය තවදුරටත් ඉහළ ගොස් ඇත. එවන් පසුබිමක අමෙරිකාව විසින් ඉරානය ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර ද මේ වන විට තීව්ර කර තිබේ.

