පාර්ලිමේන්තුව හෙට සිට ජූලි 24 දක්වා රැස්වේ

0
6

එළඹෙන ජූලි 21 වනදා සිට 24 වනදා දක්වා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සතියේ කටයුතු සංවිධානය කර ඇති ආකාරය පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසින් ප්‍රකාශ කර තිබේ. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණ ගෙන ඇත. ඒ අනුව, ජූලි 21 අඟහරුවාදා දිනයේදී ස්ථාවර නියෝග 119 සහ 120 යටතේ වැදගත් තීරණ දෙකක් අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිතය.

විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට විද්‍යුත් වාහන ආනයනය සඳහා බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීම සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා (COPE) වාර්තාවලින් හඳුනාගත් සිද්ධීන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීම එම තීරණ වේ. එදින පස්වරුවේ දසවැනි පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ වැඩකටයුතු සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ යෝජනාවක් ද විවාදයට ගැනීමට නියමිතව ඇත.

ජූලි 22 බදාදා දිනය සම්පූර්ණයෙන්ම වෙන් කර ඇත්තේ මන්ත්‍රීවරුන් විසින් අසන ලද වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 50ක් සඳහා ප්‍රමුඛතාව ලබා දීමටය. මීට අමතරව එදින සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා ද විශේෂ කාලයක් වෙන් කර තිබේ. ඉන්පසුව ජූලි 23 බ්‍රහස්පතින්දා දිනයේදී ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් පත්‍ර දෙකක රෙගුලාසි අනුමැතිය සඳහා විවාදයට ගැනීමට නියමිත අතර, ඉන් අනතුරුව ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට ද කටයුතු යොදා ඇත.

මෙම පාර්ලිමේන්තු සතියේ අවසන් දිනය වන ජූලි 24 සිකුරාදා දින, රටට වැදගත් වන පෞද්ගලික මන්ත්‍රී යෝජනා කිහිපයක් විවාදයට ගැනීමට නියමිතව තිබේ. කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත වීම ප්‍රවර්ධනය කිරීම, කඩොලාන පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම, දුම්රිය මාර්ග පුළුල් කිරීම, කොවිඩ්-19 සමයේ මුස්ලිම් මෘතදේහ ආදාහනය කිරීම පිළිබඳ විමර්ශනයට කොමිෂන් සභාවක් පත් කිරීම, රසායනික ද්‍රව්‍ය යොදා පලතුරු ඉදවීම වැළැක්වීම, වන සතුන් කළමනාකරණය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සහ කලාපීය සංවර්ධන විෂමතා අවම කිරීමට විශේෂ සංවර්ධන අරමුදලක් පිහිටුවීම එම යෝජනා අතර වේ. එදින කටයුතු අවසානයේ විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ද විවාදයට ගැනීමට නියමිතය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here