ලෝක ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස සැළකෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් (Sir Garfield Sobers) අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට 89 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා, 1954 සිට 1974 දක්වා වූ දශක දෙකක කාලය තුළ ටෙස්ට් තරග 93කට ක්‍රීඩා කරමින් ලකුණු 8,032ක් රැස් කිරීමටත්, කඩුලු 235ක් දවා ගැනීමටත් සමත් විය. වේග පන්දු මෙන්ම දඟ පන්දු ද එකලෙස යැවීමේ සුවිශේෂී දක්ෂතාවක් පැවති සෝබර්ස්, 1958 වසරේදී පාකිස්ථානයට එරෙහිව නොදැවී ලකුණු 365ක් රැස් කරමින් වසර 36ක් පුරා නොබිඳී පැවති ලෝක වාර්තාවකට ද හිමිකම් කීවේය.
එංගලන්තයේ නොටින්හැම්ෂයර් ප්‍රාන්තය වෙනුවෙන් ද ක්‍රීඩා කළ ඔහු, 1968 වසරේදී පළමු පෙළ තරගයකදී එක් පන්දුවාරයකට හයේ පහර 6ක් එල්ල කළ ලොව පළමු පිතිකරුවා ලෙස ඉතිහාසයට එක් විය. ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඉටුකළ අනුපමේය සේවය අගයමින් 1975 වසරේදී ඔහුට බ්‍රිතාන්‍යයෙන් නයිට් (Knighted) පදවිය පිරිනැමුණු අතර, සුප්‍රකට විස්ඩන් සඟරාව මගින් ඔහුව 20 වැනි සියවසේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයින් පස්දෙනා අතරට ද නම් කර තිබුණි.

