විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සඳහා ලබාදෙන තීරුබදු සහන (Duty-Free Allowances) ඉහළ නැංවීමට සහ එම ක්‍රියාවලිය වඩාත් විධිමත් කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. පසුගිය ජූලි 14 වැනිදා අදාළ අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, මේ සඳහා අදාළ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් උසස් නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ. බැංකු පද්ධතිය ඇතුළු නිල මාර්ග ඔස්සේ මෙරටට විදේශ ප්‍රේෂණ එවන ශ්‍රමිකයන්ට වැඩි ප්රතිලාභ ලබාදීම සහ එම ක්‍රියාවලිය වඩාත් සරල හා කාර්යක්ෂම කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.
මෙම නව වැඩපිළිවෙළ යටතේ රේගු ක්‍රියාපටිපාටි සරල කිරීම, තීරුබදු සහන විදේශ ප්‍රේෂණ වාර්තා (Remittance Records) සමඟ සෘජුව සම්බන්ධ කිරීම මෙන්ම විදේශගත ශ්‍රමිකයන් සඳහා වන ණය පහසුකම් තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත. මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා රේගුව, වාණිජ බැංකු සහ ලංකා රෙමිට් (Lanka Remit) ආයතනය අතර සම්බන්ධීකරණය තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ද මෙහිදී අවධාරණය කෙරිණි. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වන විදේශගත ශ්‍රමිකයන්ගේ මෙහෙවර ඇගයීමට ලක් කරමින්, ඔවුන්ට හිමි ප්රතිලාභ වඩාත් විනිවිදභාවයකින් සහ ප්‍රායෝගිකව ලබාදීම රජයේ අපේක්ෂාව බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

