ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ “ඉන්දියන් සාගර සියවස” ලෙස හැඳින්වෙන නව ගෝලීය යුගයේ ප්‍රධාන ආර්ථික සහ උපායමාර්ගික කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්විය යුතු බවයි. සිංගප්පූරුවේ පැවති ගෝලීය පෙරදිග ආර්ථික සහයෝගිතා සමුළුව අමතමින් ඔහු පෙන්වා දුන්නේ, ඉන්දියන් සාගර කලාපය ඉදිරි දශකය තුළ පමණක් නොව, සමස්ත ලෝකයේම ආර්ථිකය හා උපායමාර්ගික ගමන්මඟ හැඩගස්වන සුවිශේෂී සියවසකට මේ වන විට පිවිසෙමින් සිටින බවයි.
මිල්කන් ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ සභාපති මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ හිටපු ඇමෙරිකානු නියෝජිතයෙකු වන කර්ටිස් එස්. චින් මහතා සමඟ පැවති සංවාදයකදී මන්ත්‍රීවරයා සිය අනාගත දැක්ම පැහැදිලි කළේය. එහිදී ඔහු අවධාරණය කළේ ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව එකිනෙකට සම්බන්ධ කරන විශ්වාසනීය ආර්ථික හා උපායමාර්ගික පාලමක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම තමන්ගේ අපේක්ෂාව බවයි.
මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා නවෝත්පාදනය, සහයෝගීතාව සහ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. එමඟින් තරුණ පරපුරට නව අවස්ථා උදාකර දීමත්, ගෝලීය ආර්ථිකය තුළ ප්‍රමුඛ භූමිකාවක් ඉටු කිරීම සඳහා මීළඟ පරම්පරාව සූදානම් කිරීමත් අත්‍යවශ්‍ය බව ඔහු සඳහන් කළේය. ඉතිහාසය පුරා විවිධ ශිෂ්ටාචාර එකිනෙක යා කළ ඉන්දියන් සාගරය, දැන් අනාගතය සම්බන්ධ කරන ප්‍රධානතම කේන්ද්‍රස්ථානයක් බවට පත්විය යුතු බව ද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

