දකුණු කොරියානු තානාපතිනිය කථානායකවරයා හමුවෙයි

0
11

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියන් ලී මහත්මිය පසුගියදා පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවූ අතර, මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්වූවාය.

මෙහිදී කථානායකවරයා දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය අගය කරමින්, ආර්ථික අර්බුදයේදී සහ සංවර්ධන කටයුතුවලදී කොරියාව ලබාදුන් අඛණ්ඩ සහයෝගයටත්, ශ්‍රී ලාංකිකයින්ට එරට ලබාදෙන රැකියා අවස්ථාවන්ටත් සිය කෘතඥතාව පළ කළේය.

එසේම, දූෂණය තුරන් කිරීම, යහපාලනය ශක්තිමත් කිරීම, ජාතික සංහිඳියාව ඇති කිරීම සහ ආයෝජන හිතකාමී වටපිටාවක් නිර්මාණය කරමින් විදේශ ආයෝජන හා සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව ද කථානායකවරයා තානාපතිනිය දැනුවත් කරමින්, කොරියානු ආයෝජකයන්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කළේය.

මෙහිදී අදහස් දැක්වූ තානාපතිනි මියන් ලී මහත්මිය සඳහන් කළේ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දැනුම හා අත්දැකීම් හුවමාරු කරගනිමින් ලංකාවේ දූෂණ විරෝධී වැඩසටහන් ඇතුළු සංවර්ධන කටයුතු සඳහා අඛණ්ඩව සහයෝගය දීමට කොරියාව සූදානම් බවයි. විශේෂයෙන්ම, ලබන වසරේදී දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 50ක් සපිරීම නිමිත්තෙන් දෙරටේ පාර්ලිමේන්තු අතර හුවමාරු වැඩසටහන් තවදුරටත් පුළුල් කිරීමට ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

හමුව අවසානයේ දෙරටේ දේශපාලනික හා සංස්කෘතික පසුබිම පිළිබඳ සුහද අදහස් හුවමාරුවක නිරත වූ දෙපාර්ශ්වයම, ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර පවතින මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමට ඇති කැපවීම යළිත් තහවුරු කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here