එංගලන්තය පරදා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට

0
7

ඊයේ (15) ඇට්ලන්ටා හි ප්‍රේක්ෂකයින් 68,239 ක් ඉදිරියේ පැවැති උණුසුම් ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයෙන් එංගලන්තය පරදා ගෝල 2-1 ක විශිෂ්ට ජයක් ලැබීමට ආර්ජන්ටිනාව සමත් විය.

තරගයේ 55 වැනි මිනිත්තුවේදී ඇන්තනි ගෝර්ඩන් ලබාගත් ගෝලයෙන් එංගලන්තය 1-0 ක් ලෙස පෙරමුණ ගනිමින් 1966 න් පසු තම පළමු ලෝක කුසලාන අවසන් මහා තරග බලාපොරොත්තුව අලුත් කර ගත්තද, ආර්ජන්ටිනාව අවසන් මිනිත්තු කිහිපය තුළ තරගය උඩුයටිකුරු කළේය.

ඒ අනුව 85 වැනි මිනිත්තුවේදී ලියොනෙල් මෙසීගේ සහායෙන් එන්සෝ ෆර්නැන්ඩස් සම ලකුණු ගෝලය වාර්තා කළ අතර, පසුව 92 වැනි මිනිත්තුවේදී නැවතත් ක්‍රියාත්මක වූ මෙසී දුන් පන්දුවකින් ආදේශක ක්‍රීඩක ලුටාරෝ මාර්ටිනස් හිසෙන් එල්ල කළ ප්‍රහාරයකින් ආර්ජන්ටිනාවට ජයග්‍රහණය තහවුරු කළේය.

මෙම පෙරළිකාර ජයග්‍රහණයත් සමඟ පිට පිට දෙවැනි වරටත් ලෝක කුසලාන සිහිනය හඹායන ආර්ජන්ටිනාව, යුරෝපීය ශූර ස්පාඤ්ඤය සමඟ ලබන ඉරිදා නිව් ජර්සි හි MetLife ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. 1962 දී බ්‍රසීලයට පසු ලෝක ශූරතාව රැකගත් පළමු කණ්ඩායම වීමට ආර්ජන්ටිනාව සැරසෙන අතර, බ්‍රසීලයේ කැෆූට පසු ලෝක කුසලාන අවසන් මහා තරග 3කට ක්‍රීඩා කරන දෙවැනි ක්‍රීඩකයා වීමට 39 වැනි වියේ පසුවන මෙසීට මෙයින් අවස්ථාව උදාවේ.

මෙසී නිල තරගයකදී ස්පාඤ්ඤයට එරෙහිව ක්‍රීඩා කරන පළමු අවස්ථාව ද මෙය වන අතර, තෝමස් ටුචෙල්ගේ පුහුණුකාරීත්වයෙන් යුත් එංගලන්තයට සිදුව ඇත්තේ සෙනසුරාදා මියාමි හිදී ප්‍රංශය සමඟ තෙවැනි ස්ථානය සඳහා වන තරගයට ක්‍රීඩා කිරීමටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here