2022 ජුලි 09 වනදා ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය උඩුයටිකුරු කරමින් මෙරට බිහිවූ ප්‍රබලම විධායක ජනාධිපතිවරයෙකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉවත්වීමට සිදුවූ ඓතිහාසික මහජන නැගිටීමට වසර 4ක් සම්පුර්ණ වී තිබේ.
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අතිවිශාල බලයක් සහ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් මෙරට ඉතිහාසයේ ජනාධිපතිවරයෙකු සතු වූ ඉහළම විධායක බලතල අත්පත් කරගෙන සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා, රට තුළ ඇති වූ දැඩි ආර්ථික හා සමාජීය අර්බුදය හමුවේ එල්ල වූ මහජන විරෝධය හේතුවෙන් මෙලෙස ධුරය අතහැර පළායෑමට සිදුවිය.
2022 වසරේ මුල් භාගයේ සිට ඉන්ධන, ගෑස්, ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය මෙන්ම පැය ගණනාවක විදුලි කප්පාදුව හේතුවෙන් පීඩාවට පත් ජනතාව “ගෝටාගෝහෝම්” (GotaGoHome) තේමාව යටතේ කොළඹ ගාලු මුවදොර පිටිය කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත අරගලයක් දියත් කළහ.
එහි උච්චතම අවස්ථාව සනිටුහන් කරමින් 2022 ජුලි මස 09 වනදා දිවයිනේ නන්දෙසින් පැමිණි ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹ කොටුව වටලා ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය නිල නිවස වූ අරලියගහ මන්දිරය තම පාලනයට නතු කර ගත්හ. ඉන් දින කිහිපයකට පසු ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටින් නික්ම ගොස් නිල වශයෙන් ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළේය.
මෙම සිදුවීම සාම්ප්‍රදායික දේශපාලන බල ව්‍යුහයන් පසෙකලා, සන්නද්ධ හමුදාවකගේ සහායකින් තොරව, තනිකරම සිවිල් ජනතාවගේ සාමූහික බලය මඟින් රාජ්‍ය නායකයෙකු බලයෙන් පහකළ ලෝක ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස අදටත් සැලකේ. වසර 4ක් ගතවන විට ‘ජුලි 09’ යනු ලාංකීය දේශපාලන පක්ෂවලට සහ පාලකයින්ට මහජන පරමාධිපත්‍යයේ බලය සිහිපත් කරවන නොමැකෙන සංකේතයකි.

