කොළඹ දිස්ත්‍රික්කය පුරා මේ වන විට ඩෙංගු වසංගත තත්ත්වය ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින අතර, රෝග මර්දන කටයුතුවල ක්‍රියා කල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අට දෙනෙකුට සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ තවත් පිරිසකට ද ඩෙංගු රෝගය වැළඳී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ කොළඹ දිස්ත්‍රික් ශාඛාවේ සභාපති අමිත් කුමාර මහතා අද (09) පැවැති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.
රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජූනි මාසය පුරා දියත් කළ විශේෂ ඩෙංගු වැටලීම්වලදී මදුරුවන් බෝවන ලෙස පරිශ්‍ර පවත්වාගෙන යමින් වගකීම් පැහැරහැර තිබූ පුද්ගලයන් 1,186 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ. එම අධිකරණ ක්‍රියාමාර්ග හරහා රුපියල් එක්කෝටි දෙලක්ෂ විසිපන් දහසක දඩ මුදලක් රජයට අයකර ගැනීමට හැකි වූ බව ද සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.
ජූනි මාසය තුළ පමණක් නිවාස 494ක්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 134ක්, පාසල් 4ක් සහ ආගමික ස්ථාන 2ක් සම්බන්ධයෙන් මෙලෙස නීතිමය පියවර ගෙන ඇති අතර, ඉදිරියේදී ද කිසිදු තරාතිරමකින් තොරව වගකීම් පැහැරහරින සියලුම පාර්ශ්වයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අමිත් කුමාර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

