ඉදිරියේ දී ඇති විය හැකි ‘එල් නිනෝ’ දේශගුණික විපර්යාසය හමුවේ නිසි ජල කළමනාකරණයක් පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බව නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි. ඒ සඳහා ජල කළමනාකරණයට සෘජුවම සම්බන්ධ සියලුම රාජ්‍ය ආයතන ඒකාබද්ධ කරමින් විශේෂ ක්‍රමවේදයක් දැනටමත් සකස් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
පවතින තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය.
“සාමාන්‍යයෙන් ජූලි සහ අගෝස්තු මාසවල අපේ රටේ පවතින්නේ වියළි කාලගුණයක්. නමුත් මෙවර ‘එල් නිනෝ’ තත්ත්වය නිසා ඒ වියළි බව සාමාන්‍ය මට්ටමට වඩා වැඩි වෙන්න පුළුවන්. ඉන්පසුව එළඹෙන ඊශාන දිග මෝසම් වැසි සැප්තැම්බර් 15 වැනිදායින් පසුව ආරම්භ වීමට නියමිත වුවත්, සැප්තැම්බර් මාසයේ දී වැසි ප්‍රමාණය යම් දුරකට අඩු විය හැකි බවට පුරෝකථනය කර තිබෙනවා. කෙසේ වෙතත්, ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල දී වැසි තත්ත්වය නැවත වර්ධනය විය හැකියි.
මෙම තත්ත්වයට සාර්ථකව මුහුණ දීම සඳහා කෘෂිකර්ම, වාරිමාර්ග සහ ජල සම්පාදන දෙපාර්තමේන්තු, මහවැලි අධිකාරිය මෙන්ම විදුලිබල මණ්ඩලය ද එකතු කරගෙන උපරිම මට්ටමේ ජල කළමනාකරණ සැලසුමක් ක්‍රියාත්මක කිරීමට අප සාකච්ඡා කළා. මේ වනවිටත් අදාළ සියලුම ආයතන වෙත අවශ්‍ය සූදානම ඇති කරගන්නා ලෙස දැනුම් දී ඇති අතර, එහි ප්‍රගතිය එළඹෙන 20 වැනිදා නැවත සමාලෝචනය කිරීමට නියමිතයි.”

