අස්වැසුම ප්‍රතිලාභී පවුල් හුදෙක් සහනාධාර මතම රඳවා නොගෙන, ඔවුන් ඵලදායී ආර්ථික හා නිෂ්පාදන ක්‍රියාවලියකට යොමු කිරීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන සහ පූර්ව අයවැය සාකච්ඡාවට ඊයේ (07) ජනාධිපති ලේකම් කාර්යාලයේදී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මේ වන විටත් පවුල් 16,000ක් සවිබල ගැන්වීමේ මනෝ-සමාජීය සහ ආර්ථික වැඩසටහන් ආරම්භ කර ඇති අතර, ශ්‍රම ශක්තියක් නොමැති ආබාධිත හෝ රෝගී පවුල් රජය විසින් පූර්ණ ලෙස රැකබලා ගන්නා බවද මෙහිදී අවධාරණය කෙරිණි.
විවිධ ආයතන හරහා විසිරී පවතින ප්‍රතිපාදන ඒකාබද්ධ කර, නිශ්චිත පවුල් ඒකක ඉලක්ක කරගත් විද්‍යාත්මක වැඩපිළිවෙළක් මඟින් දුගී බව තුරන් කිරීම රජයේ අපේක්ෂාවයි. එමෙන්ම, ප්‍රතිලාභී පවුල් සැබෑ ලෙසම සවිබල ගැන්වෙන්නේද යන්න මැනිය හැකි විධිමත් මිණුම් ක්‍රමවේදයක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මීට අමතරව, රැකියා නියුතු මව්වරුන් සහ ආබාධිත දරුවන් වෙනුවෙන් මේ වසරේදී දිවා සුරකුම් මධ්‍යස්ථාන 10ක් අවසන් කිරීමටත්, ඉදිරි වසරවලදී එය 50 දක්වා ඉහළ නැංවීමටත්, පොදු ස්ථානවල ආබාධිත පුද්ගල ප්‍රවේශ පහසුකම් නැංවීම සඳහා මිලියන 283ක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත් මෙහිදී තීරණය වී තිබේ.

