සහල් හෝ වී සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා භාවිත කිරීම තහනම් කරමින් මින් පෙර පනවා තිබූ නීතිමය බාධා ඉවත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.
ඒ අනුව, මීට පෙර නිකුත් කර තිබූ අදාළ තහනම් ගැසට් නිවේදනය අවලංගු කරමින් නව අතිවිශේෂ ගැසට් නිවේදනයක් මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.මෙම නව තීරණයත් සමඟ සහල් හෝ වී සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා සෘජුව භාවිත කිරීමට මෙන්ම, වෙනත් අයුරකින් සත්ත්ව ආහාර නිපදවීමේ යෙදවුමක් ලෙස යොදා ගැනීමට ද මින් ඉදිරියට නීත්‍යානුකූල අවසරය හිමිවේ.
මීට අමතරව, සත්ත්ව ආහාර නිෂ්පාදනය වෙනුවෙන් සහල් සහ වී විකිණීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම, තොග රැස්කර තැබීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, බෙදා හැරීම හෝ මිලදී ගැනීම සම්බන්ධයෙන් පනවා තිබූ සියලු සීමාවන් ද මෙමඟින් ඉවත් කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම ලිහිල් කිරීම් ඇතුළත් නව විධානය පසුගිය ජුනි මස 24 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි බලපැවැත්වෙන බවයි.

