කළමනාකරණ සේවා නිලධාරීන් 1,252කට පත්වීම් ප්‍රදානය හෙට අරලියගහ මන්දිරයේදී

0
11

රාජ්‍ය සේවයේ පවතින දැඩි නිලධාරී හිඟයට විසඳුම් දෙමින් කළමනාකරණ සේවා නිලධාරි සේවයේ III ශ්‍රේණිය සඳහා අලුතින් තේරී පත්වුණු තරුණ තරුණියන් 1,252 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම හෙට (07) අරලියගහ මන්දිරයේදී සිදු කෙරේ. රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය සඳහා සුදුසුකම් ලැබූ පිරිස තෝරාගෙන ඇත්තේ සම්පූර්ණ දක්ෂතාවය මතම පදනම් වෙමිනි.

2025 වසරේ ඔක්තෝබර් මස පැවැත්වුණු විවෘත තරග විභාගයට පෙනී සිටි 85,000කට ආසන්න අයදුම්කරුවන් අතුරින් ඉහළම ලකුණු ලැබූ පිරිස වෙනුවෙන් පසුගිය මැයි මාසයේ පැවැත්වුණු සම්මුඛ පරීක්ෂණවල ප්‍රතිඵල අනුව මෙම තේරීම් සිදුකර ඇත. වයස අවුරුදු 18-29ත් අතර පසුවන මෙම පත්වීම්ලාභීන් අතරට සිංහල මාධ්‍යයෙන් 1,006 දෙනෙකු, දෙමළ මාධ්‍යයෙන් 217 දෙනෙකු සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් 29 දෙනෙකු ඇතුළත් වන අතර, මූලික සුදුසුකම අපොස උසස් පෙළ වුවද ඔවුන් අතර විශාල උපාධිධාරීන් පිරිසක් ද සිටීම විශේෂත්වයකි.

කළමනාකරණ සේවා නිලධාරී සේවයේ පවතින සමස්ත පුරප්පාඩු 1,615න් පළමු වටයේදී පිරවෙන්නේ මෙම පත්වීම් 1,252 පමණක් වන බැවින්, ඉතිරි පුරප්පාඩු ප්‍රමාණය පියවීම සඳහා කඩිනමින් දෙවන වටයකින් බඳවා ගැනීම් සිදුකරන බව අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කළේය.

2021 වසරේ සිට රාජ්‍ය සේවයට අලුතින් බඳවා ගැනීම් සිදු නොවීම නිසා බරපතළ නිලධාරී හිඟයක් පැවති අතර, එමඟින් මහජනතාව මෙන්ම රජය ද දැඩි දුෂ්කරතාවලට මුහුණ දුන් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රජයේ නව ප්‍රතිපත්තියට අනුව 2025 වර්ෂයේදී 35,000කට අධික පිරිසක් බඳවා ගත් බව ද සිහිපත් කළේය.

තවද, මේ වසරේදී (2026) ලක්ෂයකට අධික පිරිසක් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට කටයුතු කරමින් පවතින බවත්, ඉදිරි 2027 වසරේදී ද සැලකිය යුතු පිරිසක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here