හිරුණිකාගේ ඇපැල් පෙත්සම අගෝස්තු 6 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණයෙන් දින නියම වෙයි.

0
8

දෙමටගොඩ ප්‍රදේශයේ තරුණයෙකු පැහැරගෙන ගොස් පහරදීමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ මහාධිකරණය මඟින් තමන්ට නියම කළ වසර තුනක බරපතළ වැඩ සහිත සිර දඬුවමෙන් සහ දඩ මුදලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඉදිරිපත් කළ ඇපෑල ලබන අගෝස්තු මස 06 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (06) නියම කළේය. පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම අද කැඳවනු ලැබූ අතර, එහිදී විත්තිකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෂවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙනී සිටින බව පවසමින් විභාගය සඳහා දිනයක් ලබාදෙන ලෙස ඇයගේ නීතිඥවරයා ඉල්ලා සිටියේය.

ඒ සමඟම නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා ද අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම අභියාචනා විභාගය සඳහා කෙටි දිනයක් ලබාදෙන ලෙසයි. දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම ලබන අගෝස්තු 06 වනදා විභාගයට ගැනීමට මෙලෙස දින නියම කරන ලදී.

මෙම නඩුවට පාදක වී ඇත්තේ 2015 වසරේ දෙසැම්බර් මස 21 වනදා දෙමටගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කළ අමිල ප්‍රියංක අමරසිංහ නමැති තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීමේ සිදුවීමකි.

එම චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට කොළඹ මහාධිකරණය විසින් 2024 වසරේ ජූනි මස 28 වනදා බරපතල වැඩ සහිත වසර 03ක සිර දඬුවමක් සහ රුපියල් 20,000ක දඩයක් නියම කළ අතර, එම දඬුවමට එරෙහිව ඇය විසින් මෙම ඇපෑල ඉදිරිපත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here