අමරපුර මහා නිකායේ උපසම්පදා රාජ්‍ය මහෝත්සවය ජූලි 9 වනදා.

0
9

දීර්ඝ කාලීන ශාසනික අවශ්‍යතාවක් සපුරාලමින් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා විනය කර්ම රාජ්‍ය මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන ජූලි 9 වැනිදා පස්වරු 3.00ට කළුතර බෝධි පරිශ්‍රයේදී ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී, රාජකීය පණ්ඩිත පූජ්‍ය බලපිටියේ සිරිසීවලී නාහිමියන් සඳහන් කළේ, ජනාධිපතිවරයා පසුගිය ජනවාරි 1 වැනිදා නිකායේ උත්තරීතර මහනායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහනායක හිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත් අවස්ථාවේදී කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව මෙවර උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සංවිධානය කෙරෙන බවයි.

සාමාන්‍යයෙන් වසර තුනකට වරක් පැවැත්විය යුතු මෙම ඓතිහාසික පුණ්‍යෝත්සවය විවිධ හේතූන් මත වසර නවයකට පසු මෙවර පැවැත්වීම සුවිශේෂී කරුණක් වන අතර, ජූලි 9 වැනිදා සිට 22 වැනිදා දක්වා කළුතර කළු ගඟේ පිහිටි උදකුක්ඛේප සීමා මාලකයේදී සාමණේර හිමිවරුන් 400කට අධික පිරිසක් උපසම්පදා ශීලයෙහි පිහිටුවීමට නියමිතය.

ජනාධිපති කාර්යාලයේ සෘජු මැදිහත්වීම මත ත්‍රිවිධ හමුදාව, පොලීසිය, විවිධ රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශයේ ද නොමඳ සහාය ඇතිව ඉතා උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කෙරෙන මෙම උදාර ශාසනික කර්තව්‍යයට ශ්‍රද්ධා බුද්ධියෙන් යුතුව සහභාගි වන ලෙස ද සිරිසීවලී නාහිමියෝ සමස්ත බෞද්ධ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here