හෝමාගම මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ (ETU) රෝගීන් ඇතුළත් කිරීම සහ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම මෙන්ම දුරස්ථ වීඩියෝ තාක්ෂණය ඔස්සේ රෝගීන් පරීක්ෂා කිරීමේ ‘ටෙලිමෙඩිසින්’ (Telemedicine) නවීන තාක්ෂණික සේවාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) නිල වශයෙන් ආරම්භ කෙරුණි.
මෙහිදී ඩිජිටල් පද්ධතිය හරහා පළමු රෝගියා ලියාපදිංචි කිරීම අමාත්‍යවරයා අතින් සිදු වූ අතර, පාදුක්ක රෝහලේ පසුවන රෝගියෙකු වීඩියෝ තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කරමින් උපදෙස් ලබාදීමේ ක්‍රියාවලිය ද මෙහිදී අමාත්‍යවරයාගේ සෘජු නිරීක්ෂණයට ලක් විය. මෙම නව තාක්ෂණික ක්‍රමවේදයන් අනුගමනය කිරීම තුළින් රෝහල් පරිපාලන පිරිවැය අවම වීම, සේවක කාර්යක්ෂමතාව ඉහළ යාම, රෝහල් ධාරිතාව උපරිමයෙන් භාවිත කිරීමට හැකිවීම මෙන්ම වෛද්‍ය වාර්තා සහ පරීක්ෂණ දත්ත වෙනත් රෝහල් සමඟ පහසුවෙන් හුවමාරු කර ගනිමින් දත්ත පදනම් කරගත් නිවැරදි තීරණ ගැනීමට හැකි වීම ඇතුළු ප්‍රතිලාභ රැසක් රෝහල් කළමනාකරණයට මෙන්ම ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන මහජනතාවට ද හිමි වේ.
ඩිජිටල්කරණ වැඩසටහනෙන් අනතුරුව, රෝහලේ ඉදිරි සැලසුම්, අවශ්‍යතා සහ පවතින ගැටලු පිළිබඳව රෝහල් කාර්ය මණ්ඩලය සහ සංවර්ධන කමිටුව සමඟ විශේෂ සාකච්ඡාවක් රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු අතර, එහිදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් රෝහලේ ප්‍රධානතම අවශ්‍යතාවක් ලෙස පෙන්වා දුන් මහල් 04 කින් යුත් බහුකාර්ය ගොඩනැගිල්ලේ අවශ්‍යතාව පිළිබඳව අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විය.
හෝමාගම රෝහලේ භූගෝලීය පිහිටීම සහ පවතින දැඩි සේවා අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය අමාත්‍යාංශය සතු සැලසුම්සහගත වැඩපිළිවෙළකට අනුව රෝහලේ මානව හා භෞතික සම්පත් ඉදිරියේදී සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. මෙම සුවිශේෂී අවස්ථාව සඳහා හෝමාගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර පනාගොඩ, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුසන්ත දොඩාවත්ත, හෝමාගම ප්‍රාදේශීය සභා සභාපති කසුන් රත්නායක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චන්දන ගජනායක, බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක, හෝමාගම රෝහලේ වෛද්‍ය අධිකාරී පී.එච්. විජේනායක සහ ETU භාර විශේෂඥ වෛද්‍ය ඩී.බී.සී සඳරුවන් ඇතුළු වෛද්‍ය, හෙද සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

