තවමත් ධාවනය නොවූ තලෙයිමන්නාරම් දුම්රිය

0
8

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ තලෙයිමන්නාරම් දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර මාසයකට අධික කාලයක් ගතව ඇති නමුත්, එම මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමට අවශ්‍ය පියවර මෙතෙක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය විසින් පවසයි.

මෙම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා සඳහන් කර ඇත්තේ දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් තලෙයිමන්නාරම් මාර්ගයේ ස්ථාන කිහිපයක් සෝදා යාම නිසා එම මාර්ගයේ දුම්රිය ධාවනය තාවකාලිකව නතර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවය.

මේ වන විට එම මාර්ගය පැයට කිලෝමීටර් 120ක වේගයකින් දුම්රිය ධාවනය කළ හැකි පරිදි මාර්ග අංශයේ නිලධාරීන් සහ සේවකයින් විසින් යථා තත්ත්වයට පත් කර අවසන් කර ඇති බව සඳහන් වේ.

මීට පෙර තලෙයිමන්නාරම් මාර්ගයේ දිනපතා උදෑසන දුම්රිය ගමන් වාර දෙකක් සහ රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළු ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක වූ අතර උතුරු ප්‍රදේශයේ ජනතාව ඇතුළු තවත් විශාල පිරිසක් එම සේවාව භාවිත කළහ.

දුම්රිය එන්ජින් හිඟය ඇතුළු හේතු දක්වමින් මාර්ගයේ ධාවන කටයුතු ආරම්භ කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් මගී ජනතාව අපහසුතාවට පත්ව ඇති බවද එම වෘත්තීය සමිතිය සඳහන් කරයි.

මේ වනවිටත් ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර ඇති තලෙයිමන්නාරම් දුම්රිය මාර්ගයේ සේවා යළි ආරම්භ කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here