​2026 ජාතික මීලාද්-උන් නබි උත්සවය හෙට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්.

0
6

​2026 වර්ෂයේ රාජ්‍ය අනුග්‍රහය ඇතිව උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිත ජාතික මීලාද්-උන් නබි උත්සවයේ පූර්ව නිල සංවිධාන රැස්වීම අද දින ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාර්ථකව පැවැත්විණි. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා, බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතා සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එම්.එස්.එම් නවාස් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සෘජුවම සම්බන්ධ වූහ. මීට අමතරව, ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ද සූම් (zoom) තාක්ෂණය ඔස්සේ දුරස්ථව මෙම සාකච්ඡාව සඳහා එක් විය.
​මෙම අවස්ථාවට දිස්ත්‍රික්කයේ ප්‍රධාන මවුලවිතුමන්ලා, පළාත් පාලන නියෝජිතයින්, ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා, ප්‍රාදේශීය ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන් මෙන්ම විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන් පිරිසක් සහභාගී වූහ. එමෙන්ම, ජාතික උත්සවයේ ආරක්ෂක කටයුතු සහ රථවාහන සැලසුම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීන් ද මෙම අවස්ථාවට සක්‍රීයව දායකත්වය ලබා දුන්හ.

​මෙහිදී රැස්වීම අමතමින් අදහස් දැක්වූ ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා, මෙම ජාතික මීලාද්-උන් නබි උත්සවය සාර්ථක කර ගැනීම වෙනුවෙන් මෙතෙක් කැපවීමෙන් කටයුතු කරමින් සහයෝගය දැක්වූ සියලුම පාර්ශ්වයන් වෙත සිය හෘදයාංගම ස්තුතිය පුද කර සිටියේය. ඉදිරි සංවිධාන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ද සියලු දෙනාගේ අඛණ්ඩ සහයෝගය අපේක්ෂා කරන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, හැකිතාක් වැඩි වශයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ජනතාව මේ සඳහා සහභාගී කරවා ගනිමින් උත්සවය ඉතා උත්කර්ෂවත් අන්දමින් නිම කිරීමට එක්වන ලෙස ද ඉල්ලා සිටියේය.

​මෙම පූර්ව සංවිධාන රැස්වීමේදී උත්සවයට අදාළ වගකීම් බෙදා දීම සිදු වූ අතර, දියත් කිරීමට නියමිත ආගමික, සංස්කෘතික වැඩසටහන් සහ දිස්ත්‍රික් මට්ටමින් පවත්වනු ලබන පාසැල් තරගමාලා පිළිබඳව ද කරුණු සොයා බලන ලදී. මෙහිදී විශේෂ පියවරක් ලෙස, මුස්ලිම් පල්ලි සංවර්ධන කටයුතු වෙනුවෙන් රජය මඟින් වෙන්කර ඇති ප්‍රතිපාදන යටතේ, තෝරාගත් මුස්ලිම් පල්ලි සඳහා මුදල් ප්‍රදානය කිරීම වෙනුවෙන් තහවුරු කෙරෙන ලිපි ප්‍රදානය, අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා එම පල්ලිවල දායක සභාවන් වෙත නිල වශයෙන් ලබා දීම ද සිදු කෙරිණි. මෙයට අමතරව ජාතික මීලාද්-උන් නබි උත්සවයට සමගාමීව එදින සැමරුම් මුද්දරයක්ද නිකුත් කිරීමට නියමිතව ඇත.

​මෙවර 42 වැනි ජාතික මීලාද්-උන් නබි ප්‍රධාන සැමරුම් රාජ්‍ය උත්සවය එළඹෙන අගෝස්තු මස 26 වන දින ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ සහභාගීත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. අද දින සාකච්ඡා වූ කරුණුවල ප්‍රගතිය සහ සංවිධාන කටයුතුවල සමාලෝචනය සිදු කිරීම සඳහා වන මීළඟ විශේෂ රැස්වීම ලබන ජූලි මස 14 වන දින මීගමුව අල්-හිලාල් මුස්ලිම් විද්‍යාලයීය පරිශ්‍රයේදී පැවැත්වීමට ද මෙහිදී තීරණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here