රුපියල් මිලියන 12000ක් වැය කරමින්, අතිනවීන පහසුකම් වලින් සමන්විත මහල් 16කින් යුත් දැවැන්ත හෘද ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ජාතික රෝහල් පරිශ්‍රය තුළ ස්ථාපිත කරන බවත්, එහි ඉදිකිරීම් මෙම වර්ෂයේදී ආරම්භ කිරීමට නියමිත බවත්, වසර තුනක් තුළ එහි ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම්කර ඇති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේ සිටියේ ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ලෙස පත්වීම්ලද විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහතා සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වීමෙන් පසු පැවති උත්සව සභාව අමතමිණි.
ශ්‍රී ලංකා ජාතික රෝහල් පරිශ්‍රයේ පිහිටි නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් කාර්යාලයේ දී අද (15) පෙරවරුවේ නව නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහාතා සිය ධුරයේ වැඩ භාරගැනීම සිදුවිය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම නව හෘද ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සහ ක්‍රියාකාරී මට්ටමට ගෙන ඒමේ වගකීම නව රෝහල් රෝහල් අධ්යක්ෂවරයාට පැවරෙන සුවිශේෂී වගකීමක් බව ද පැවසීය.
එමෙන්ම ආඝාත ඒකකයේ ඉදිකිරීම් ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා සිදුකළ බවත්, එම ඒකකයත් මෙම රෝහල් පරිශ්‍රයේ ඉදිකිරීමට ඇති හැකියාව පිළිබදව සොයා බලන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන්කර සිටියේය.
මේ වනවිට රෝහලේ පවතින පහසුකම් තව තවත් වර්ධනය කර ගනිමින් ආසියාවේ පළමු විශිෂ්ට රෝහල බවට ශ්‍රී ලංකා ජාතික රෝහල පත්විය යුතු බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ සඳහා නායකත්වය දියහැකි නායකයෙකු පත්ව තිබෙන බව ද පැවසීය.
එකවර මෙරට ජාතික රෝහල් ත්‍රිත්වයේ අධ්යක්ෂවරුන් ඇතුළුව නියෝජ්‍ය අධ්යක්ෂජනරාල්වරුන් නව දෙනෙකු පත්කර ගැනීමට හැකිවීම සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මෙරට සෞඛ්‍ය සේවාව ලබාගත් දැවැන්ත ජයග්‍රහණයක් බව ද මෙහි දී සදහන්කළ අමාත්‍යවරයා එය මෙම වසර එක හමාරක කාලය තුළ සඵල කරගත් ඉතා දැවැන්ත ඉදිරි පියවරක් බව ද පැවසීය.
සුදුසුම පුද්ගලයන් නව දෙනෙකු සුදුසුම තනතුරුවලට පත්ව ඇති බවත්, ජාතික රෝහල් තුනක් මෙරට ස්ථාපිතව තිබුනත් ශ්‍රී ලංකා ජාතික රෝහල එහි ප්රමුඛ රෝහල බවත් එහි අධ්යක්ෂධූරයට පත්වූ නව නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතාට සිය සුභාශිංසන ද අමාත්‍යවරයා මෙහි දී එක්කර සිටියේ ය.
ශ්‍රී ලංකා ජාතික රෝහල ආසියාවේ විශාලතම රෝහලක් වන බව ද සදහන්කළ අමාත්‍යවරයා එයට දීර්ඝ ඉතිහාසයක් පවතින බවත්, තෘතීයික සත්කාර සේවාවන් ඉහළින්ම සපයන 3800ක පමණ දැවැන්ත ඇදන් ධාරිතාවයක් පවතින මෙම රෝහලේ සේවාවන් තවතවත් ඉහළ මට්ටමකට ගෙනඒම ජනතා අපේක්ෂාව බවද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අදහස් දක්වමින් ශ්‍රී ලංකා ජාතික රෝහල මෙරට සෞඛ්‍ය සේවාවේ හදවත බවත්, විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා වැනි අත්දැකීම් බහුල වෛද්‍ය පරිපාලකයෙකුට මෙම රෝහල තිබෙන තැනින් තවත් ඉහළට ඔසවා තැබීමට කටයුතු කිරීමට හැකියාව පවතින බව පැවසීය.
දසදහසකට ආසන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් මෙම ජාතික රෝහලේ සේවය කරන බවත් ඔවුන් සමග එක්ව රෝහල සංවර්ධනය කරමින් ගුණාත්මක හා කාර්යක්ෂය ප්‍රතිකාර සේවාවන් මෙරට ජනතාවට ලබා දීම සදහා කැපවීමේන් කටයුතු කරන බව ශ්‍රී ලංකා ජාතික රෝහලේ අධ්යක්ෂ ධූරයේ සිය රාජකාරී ආරම්භකළ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා මෙහි දී පැවසීය.
ජනතා කේන්ද්‍රීය සෞඛ්‍ය පද්ධතියක් මෙරට ස්ථාපිත කිරීමේදී ජාතික රෝහලට විශාල වගකීමක් පැවරෙන බවත්, එම වගකීම නිසිපරිදි ඉටුකිරීමට කටයුතුකරන බවද ඒමහතා වැඩිදුරටත් පැවසීය.
විශේෂඥ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර මහතා (Dr. M.K. Sampath Indika Kumara) මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ ජ්‍යෙෂ්ට පරිපාලන නිලධාරියෙකු සහ වෛද්‍ය පරිපාලනය පිළිබඳ (Medical Administration) විශේෂඥ වෛද්‍යවරයෙකි.
බදුල්ල ශික්ෂණ රෝහල, රත්නපුර ශික්ෂණ රෝහල, පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහල, පොලොන්නරුව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල, වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා මෙන්ම මහරගම අපේක්ෂා රෝහල වැනි දිවයිනේ ප්‍රධාන රෝහල් රැසක මීට පෙර ඒ මහතා අධ්යක්ෂධූරය හොබවා ඇත.
විශේෂඥ වෛද්‍ය එම්.කේ.සම්පත් ඉන්දික කුමාර මහතා ඇතුළු තවත් නිලධාරීන් අට දෙනෙකුට නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් තනතුරේ පත්වීම් ලිපි ලබා දීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය 11වනදා කටයුතු කරන ලදී.
ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ධූරය ඇතුළු බොහෝමයක් තනතුරු සඳහා ස්ථිර නිලධාරියකු පත් කරන ලද්දේ දීර්ඝ කාලයකට පසු වීම ද විශේෂත්වයකි.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය මෙන්ම සර්ව ආගමික නායකයින්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙන්ම එම අමාත්‍යාංශයේ, නියෝජ්යඅධ්යක්ෂජෙනරාල්වරුන්, අධ්යක්ෂවරුන්, නියෝජ්‍ය අධ්යක්ෂවරුන්, ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂවරුන්, මෙන්ම හිටපු සෞඛ්‍ය ලේකම්වරුන්, හිටපු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරුන්, ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන, විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා මින්පෙර සේවයකරන ලද රෝහල් හා සෞඛ්‍ය ආයතනවල සෞඛ්‍ය කාර්ය මණ්ඩල පිරිසක් ද,සෞඛ්‍ය සේවාවේ සියලුම සෞඛ්‍ය වෘත්තිකයන් නියෝජනය කරමින් ජාතික රෝහලේ සේවය කරන කාර්ය මණ්ඩලයේ පිරිසක් ඇතුළු විශාල පිරිසක් ද එක්ව සිටියහ.

